මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබෙනවා.
මෙම ආධාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිතයි.
මින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එල්ල වී ඇති ආර්ථික පීඩනයට මුහුණදීමට අතිරේක මූල්‍ය සහාය ලෙස වෙන් කර ඇති බව සඳහන්.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසතෝ කන්ඩා සඳහන් කර තිබෙන්නේ, කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පවතින ගැටුමක් හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද නොවැටිය යුතු බවයි.
මේ අතර, මැදපෙරදිග ගැටුමේ ආර්ථික බලපෑම් හේතුවෙන් ඉහළ යන වියදම් සහ අවිනිශ්චිතතාවට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙත සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.













