රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්ගේ සහභාගීත්වයෙන් ඊයේ (23) බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවුණා.
මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කරනු ලබනවා.
මෙලෙස ඩිජිටල් පද්ධතියක් මඟින් මරණ සහතික නිකුත් කිරීම හරහා යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරුවල සුරක්ෂිතතාව ද තහවුරු වනවා.
මෙහිදී නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය හරහා ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර ඇති අතර, මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත උපාංග ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියකයි.
මෙම පද්ධතිය යටතේ කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මුද්‍රණය කරන ලද පළමු සහතිකය කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් වෙත ප්‍රදානය කරනු ලැබුවා.













