නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසු සිහිසුන් වූ කුඩා පිරිමි ළමයෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
කේරළයේ කන්නූර් හි එරාමම්-කුට්ටූර් ප්‍රදේශයේ පදිංචි සුරාජ් සහ විජිෂා යුවළගේ එකම දරුවා වන දේවාංෂ් ෂෞර්යා පසුගිය 05 වනදා තම නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී වැටීමෙන් තොල්වල කැපුම් තුවාලයක් සිදුව තිබෙනවා.
එම අවස්ථාවේ මාස 18ක එම ළමයා මාතමංගලම් හි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ප්‍රථමාධාර ලබා දී ඇති අතර, පසුව ළමයා පායන්නූර් හි බේබි මෙමෝරියල් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී තුවාලයට මැහුම් යෙදීමට වෛද්‍යවරුන් විසින් ළමයාව නිර්වින්දනය කිරීමට එන්නතක් ලබා දී තිබෙනවා.
එම අවස්ථාවේදී දරුවා සිහිසු වී ඇති අතර, පසුව දරුවා කන්නූර් හි බේබි මෙමෝරියල් රෝහලට මාරු යැවීමටයි කටයුතු කර ඇත්තේ.
එලෙස වෙනත් රෝහලක් වෙත මාරුකළ දරුවා පසුගිය සිකුරාදා රාත්‍රියේ මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මව්පියන් චෝදනා කරන්නේ, වෛද්‍යවරුන්ගේ නොසැලකිළිමත්කම හේතුවෙන් තම දරුවා මිය ගිය බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකම ශාඛා කිහිපයක් ඇති බේබි මෙමෝරියල් රෝහල් ජාලය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, නිවේදනයක් නිකුත් කරමින් රෝහල පැවසුවේ නිර්වින්දනය ලබාදීමෙන් පසු දරුවාට අනපේක්ෂිත හෘදයාබාධයක් ඇති වූ බවයි.
පසුව උසස් දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා දරුවා කන්නූර් රෝහල වෙත මාරු කිරීමට පියවර ගත් බවත් නිවේදනය මඟින් රෝහල දන්වා තිබෙනවා.
එමෙන්ම සුදුසු එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවත්, පිළිගත් සියලුම ප්‍රතිකාර ක්‍රමවේද වෛද්‍යවරුන් විසින් අනුගමනය කර ඇති බවත් එම රෝහල පවසනවා.
.













