ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක විසින් අද (15) පැමිණිල්ලක් භාර දුන්නා.
2025 පෙබරවාරි මාසයේ දී ආරම්භ වී සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට තිබූ ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය, කෘත්‍රිම හදිසි ප්‍රසම්පාදන තත්ත්වයක් නිර්මාණය වන පරිදි හසුරවා ඇති බව පෙනී යන බවයි මන්ත්‍රීවරයා අදාළ පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ.
මෙම පැමිණිල්ල යොමුකරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එවක බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ එම ආයතන අනිසි බලයක් පාවිච්චි කරමින් ගල් අඟුරු ආනයනයේ දී කටයුතු කර ඇති බවට තහවුරු කරගත් බවයි.
ගල් අඟුරු ආනයනයේ සමස්ත ක්‍රියාවලියේ සිදුවූ අක්‍රමිකතා සහ හානි පිළිබඳ අවධානය යොමු කිරීම දී,නියම කරගත් දිනයන් ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් අනිවාර්යයෙන් ගත්ත යුතුව තිබූ ක්‍රියාමාර්ග නොගැනීම මෙහිදී අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ.
එමෙන්ම දිගින් දිගටම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ලබාදීමට කටයුතු කිරීම මගින් ලක් රජයට සෘජුව පාඩු සිදු වූ බවත්, විදුලි ජනන අඩු වීම ගැටලු සහගත ගල් අගුරු නැව් කිහිපයක් ආශ්‍රිතව පෙන්වාදිය හැකි බවත් මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මඟින් දන්වා තිබෙනවා.
අවිධිමත් ප්‍රසම්පාදනය හේතු කර ගනිමින් සිදු වූ දූෂිත ගනුදෙනුව මගින් බලාගාරයේ ජනනයන්ට සිදු වූ හානිය කෙටි කාලීන සහ දීර්ග කාලීනව ගණනය කිරීම් සිදුකොට ලක් රජයට සිදු වූ පාඩුව එමඟින් නිර්ණය කිරීම මෙහිදී සිදු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම අදාළ සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හේතු කොටගෙන සිදු වූ පරිසරික හානිය මනුෂ්‍ය ජීවිත සහ පරිසරයට සිදු වූ බලපෑම වෙන් වෙන් වශයෙන් කෙටි කාලීන හා දීර්ඝකාලීනව ගණනය කිරීම සිදු කළ යුතු බවටයි අදාළ පැමිණිල්ලේ දක්වා ඇත්තේ.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීමෙන් අදාළ නිෂ්පාදනය අඩාල වීම හේතු කොටගෙන එම වෙනස පූර්ණ කිරීම සඳහා බල ශක්ති අමාත්‍යංශය විසින් විකල්ප ඉන්ධන භාවිත කිරීම හේතු කොටගෙන ලක් රජයට සිදු වූ හානි ගණනය කිරීම සිදු කළ යුතු බවත් එහි සඳහන්.
අදාළ නැව්ගත කිරීම් ප්‍රමාද වීම හේතුවෙන් නොරොව්වෝල පිටත වරායේ පවතින වාරකන් හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමේ දුෂ්කරතා හේතු කරගෙන සෘජුවම මුහුදට වැටීමේ ප්‍රමාණය ඉහල යාම හරහා සිදු වූ පාඩුව ද ගණනය කිරීම සිදු කළ යුතු අතර, අමතර බත්තල් ගාස්තු සහ නැව් ගොනු වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවන බවත් එම පැමිණිල්ල මඟින් දන්වා සිටිනවා.
එමෙන්ම පළමු නැව පැමිණි අවස්ථාවේදීම අදාළ ප්‍රමිතිය සම්බන්ධව නොරොචෝල බලාගාරය විසින් බලධාරීන්ගේ අවධානය යොමු කර තිබූ අතර, කිසිදු අවස්ථාවක එකී දැනුම්දීම් පිළිබඳව අවධානය යොමු නොකර තුන්වන සාම්පලය පරීක්ෂා කිරීම මාස 03ක් දක්වා ප්‍රමාද කිරීම සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙම නොසැලකිලිමත් ප්‍රමාද කිරීම නිසා මෙම ගිවිසුමෙන් ඉවත් වීමේ හැකියාවද මෙරටට අහිමි වූ බව පැමිණිල්ල මඟින් පෙන්වා දෙන මන්ත්‍රීවරයා ගෙන්වන ලද ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂා කිරීමේ වගකීම පවරා තිබූ, පී.ටී මිත්‍රා එස්.කේ ඇනලයිසා ටෙස්ටාම සමරින්ඩා ඉන්දුනීසියා වෙනුවට වෙනත් ප්‍රනීතභාවය නොමැති පරීක්ෂණාගාරයකින් වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ වන විට සැපයුම්කරු විසින් ලංකා ගල් අඟුරු සමාගමේ අනුමැතිය ලබාගෙන තිබූ ඉන්දුනීසියානු පරීක්ෂණ ආයතනයේ සහතිකය ඉදිරිපත් නොවීම මුල් අවස්ථාවේදීම අවධානයට යොමු විය යුතු බවත් ඔගු පවසනවා.
එමෙන්ම මෙම ගල් අඟුරු පරීක්ෂා කිරීම සඳහා තෝරාගන්නා ලද ඉන්දුනීසියානු පරීක්ෂණ ආයතනයේ ප්‍රතීතනතාවය අහෝසි වී තිබූ පරීක්ෂණ ආයතනයක් බව මේ වන විට හෙළි වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පෙන්වා දෙන්නේ.
මාස තුනක කාලයක් පමා වී අදාළ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සම්බන්ධව අවධානය යොමු වීම හේතු කරගෙන මෙම දූෂණය වැළැක්විය නොහැකි තත්ත්වයට පත්වන තෙක් අදාළ අමාත්‍යවරයා වන පුණ්‍ය කුමාර ජයකොඩි සහ වගකිවයුතු පාරර්ශවයන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දී ප්‍රශ්නගත ක්‍රියාවලිය සාධාරණීකරණය කරමින් පසුව හෝ හානිය අවම කර ගැනීමට හෝ මෙම දූෂණ ගනුදෙනුව වළක්වා ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් අදාළ දූෂණය දිගින් දිගටම සිදු කිරීම සඳහා සක්‍රීයව දායක වූයේද යන්න පරීක්ෂා කළ යුතු බවත් පැමිණිල්ල මඟින් අවධාරණය කරනවා.
එමෙන්ම මේ හා සම්බන්ධව එවකට ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපි දෙකෙහි සඳහන් කර තිබූ කාරණාවන් අවදානයට ලක්කර සිටින ලෙසත් මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල මඟින් දක්වා සිටිනවා.
මේ අතර බාල ගල් අඟුරු ආයනයනේ දී සිදුව ඇති පාඩුව අද වනවිට තවත් ඉහළ යමින් පවතින බවයි මන්ත්‍රීවරයා පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
ඩී.වී චානක මන්ත්‍රීවරයා එම කොමිසම වෙත සිදුකළ පැමිණිල්ල මෙතැනින්..













