කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය සිදුකෙරේ

“එම කාමරයේ ඇඳ හිස්ව තිබ්බේ. මං වම් පැත්තට හැරිලා බැලුවාම වම් පැත්තෙ කොනේ දොරක් තිබ්බා. පුටුවක් හරවලා තිබ්බා. දොර පැත්තේ තිබුණ පුටුව යට මනුස්සයෙක් වැටිලා හිටියා. මම ඔහු පරීක්ෂා කරා. ඒ වෙනකොටත් ඔහු මරණයට පත්වෙලා සිටියේ.” යැයි මියගොස් සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දෙමින් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය ආර්. පී. ලක්ෂානි යසෝදා ලියනගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (14) ප්‍රකාශ කළා.

මරණකරුගේ මරණය පරීක්ෂණ හතරකින් පසු තහවුරු කරගත් බව ද සාක්ෂිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා.

එහිදී සාක්ෂි අංක දෙක, හතර, පහ සහ හය සාක්ෂි ලබාදෙනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් කොස්තාපල් (83080) ඒ. ඩි. එස් සම්පත් නිලධාරියා විසින් සාක්ෂි මෙහෙයවනු ලබනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මියගොස් සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සීසීටීවී දත්ත පද්ධති ක්‍රියාත්මක වන නමුත් එහි දර්ශන ගබඩා වීමක් සිදු නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (14) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මෙම සිද්ධීයට අදාලව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ අදාල නිවෙසට ඉදිරිපස තිබෙන නිවාස දෙකක තිබෙන සිසිටීවී දර්ශන ලබාගත් බවයි.

මෙම මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේ පස්වන සාක්ෂිකාරිය වන වෛද්‍ය රණැස පතිරණ ලක්ෂානි යසෝදා ලියනගේ වැඩිදුරටත් සිය සාක්ෂිය ලබා දෙමින් මෙසේ ද ප්‍රකාශ කළා.

සාක්ෂිකාරිය – “ස්වාමිනී, මම සාක්ෂි ලබාදීම සිදුකරනු ලබන්නේ කපල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන්. සිද්ධිය වූ දින උදේ 7.45 ට විතර අපේ ගිලන් රථ සේවාවට ඇමතුමක් ආවා. මම පෞද්ගලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන්නේ. මම ආවේ මගේ හෙද නිලධාරී කෝසල සහ ඇම්බියුලන්ස් සහයක රුවන් කියන අයත් එක්ක. මම එයින් පිටවන විට 7.45 ට විතර ඇති. මෙම එම නිවෙස ළඟට එනකොට හතයි පනහ විතර වගේ වුණා. ‍

කළු සුදු ඇදගත්ත පිරිමි කෙනෙක් එයා ලෝයර් කියලා මට හඳුන්වලා දුන්නා. අපිව පළමු තට්ටුවට එක්කන් ගියා. උඩ තට්ටුවේ මේ කාමරේ තමයි කියලා කිව්වා. ඊට පස්සේ නිදන කාමරයේ දොර ඇරලා තිබ්බා. කාමරේ කළුවරයි. ලයිට් දාලා තිබ්බෙ නෑ. ලෝයර් ලයිට් එක දාලා අතන තමයි ඉන්නේ කිව්වා.

ඇඳ හිස්ව තිබ්බේ. මං වම් පැත්තට හැරිලා බැලුවාම වම් පැත්තෙ කොනේ දොරක් තිබ්බා. පුටුවක් හරවලා තිබ්බා. දොර පැත්තේ තිබුණ පුටුව යට මනුස්සයෙක් වැටිලා හිටියා. මම ඔහු පරීක්ෂා කරා. ඒ වෙනකොටත් ඔහු මරණයට පත්වෙලා සිටියේ.

පරීක්ෂණ හතරක් කරලා තහවුරු කරගත්තා. මරණකරුගේ දකුණු අද උස්සලා බැලුවා. මුහුණ තිබ්බේ පුටුවට තද වෙලා. හෘද ස්පන්දනය තිබ්බේ නෑ. හුස්ම ගන්න එක නතර වෙලා තිබ්බා. දකුණු අත උස්සලා බලනකොට සම්පූර්ණයෙන්ම ගල්වෙලා නැහැ. බාගෙට ගල් වෙලා තිබ්බේ. දකුණු ඇසේ කළු ඉඟිරියාව ඝණ වී ලොකු වෙලා තිබුණා.

පොලිසිය – මේ දේවල්වලට අමතරව එම කාමරයේ තවත් යමක් සාක්ෂිකාරිය දුටුවාද?

සාක්ෂිකාරිය – මරණයට පත් පුද්ගලයාගේ මුහුණ උස්සලා බැලුවේ නැහැ. රෙදි පටියකින් ගෙල සිරවෙලා තමා තිබ්බේ.

පොලිසිය – ඔබ මරණකරු පරීක්ෂා කරන වෙලාවට පෙර කොපමණ වේලාවකින් ඔහු මරණයට පත්ව ඇත්දැයි නිගමනය කළ හැකි වුණාද?

සාක්ෂිකාරිය – පරීක්ෂා කළ වෙලාවට පෙර පැයක් දෙකක් ඇතුළත සිදුවීම සිදුවි ඇති බවට නිරීක්ෂණය වුණා.

සිද්ධියට අදාළව හතරවන සාක්ෂිකරු වන නීතීඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ ඉන් අනතුරුව අධිකරණයට සාක්ෂි ලබා දෙනු ලැබුවා.

‍සාක්ෂිකරු – ” ස්වාමිනී, මට මැයි 8 වන දින අරවින්ද ද සිල්වාගේ නිවෙසට උදේ 7.15 ට වගේ යන්න කියලා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මැයි 07වන දින රාත්‍රියේ 9.30 ට පමණ දුරකථනයෙන් කතා කරලා කිව්වා. එම නීතිඥ මහතා මට කතා කරලා ඇහුවා හෙට මොන උසාවියේදී ඉන්නේ කියලා.මං කිව්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක දෙකේ සහ දිසා අධිකරණයේ ඉන්නවා කියලා.ඊට පස්සේ කිව්වා කපිලගේ මෝෂන් එකක් ගොනු කරලා හෙට අධිකරණයට දාන්න තියෙනවා. මගේ ඒ චේම්බර් එකේ මෝෂමක් හදලා මට ඒවයි කියලා ජනාධිපති නීතිඥවරයා මට කිව්වා.

ඊට පස්සේ අරවින්ද ද සිල්වා මහතා මට කතා කරයි කිව්වා. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කපිලව ඉදිරිපත් කරන්න කිව්වා මෝෂන් එකත් එක්ක. මෝසම දාලා ජනාධිපති නීතිඥවරයා කීප් ඩවුන් කරන්න කියලත් කිව්වා. එහෙම උපදෙස් දීල ජනාධිපති නිතීඥතුමා මට කිව්වා කපිල රිමාන්ඩ් වෙයි කියලා ටිකක් බයෙන් ඉන්නේ කියලා.
අරවින්ද කතා කළාට පස්සේ ගිහින් කපිලව හම්බවෙලා ඒ කරුණු පහදලා දෙන්න කියලා මගේ සර් මට කිව්වා. මම සමාජ මාධ්‍ය මගින් දැක්කා අල්ලස් කොමිසම විසින් නැවතත් ඔහුට විරුද්ධව කරුණු දක්වලා තියෙනවා කියලා.

07 වැනිදා රාත්‍රියේ 11.00 න් පසුව මට අරවින්ද කතා කරලා කිව්වා, රියන්සි මහත්තයා මට නම්බරේ දුන්නා කපිලගේ මෝෂන් එක සම්බන්ධයෙන් කතාකරගන්න. ඒ වෙලාවේ මම කිව්වා ඔව් සර් මට කිව්වා විස්තරේ කියලා. ඒ අවස්ථාවේදී අරවින්ද කිව්වා කපිල 31 ද, 21 ද, කියලා සෙක්ෂන් එකක් ගැන කිය කියා බයේ ඉන්නවා. මම දන්නෑ මොකක්ද ඒ සෙක්ෂන් එක කියලා.

ඒවන විටත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මට ලබා දී තිබූ උපදෙස් අනුව මම ඇහුවා කපිල කොහෙද ඉන්නේ කියලා අරවින්දගෙන්. අරවින්ද කිව්වා මගේ නිවසේ ඉන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මගේ පුතාව උදේ ඉස්කෝලෙට දාලා 7.15 ට විතර මට අරවින්දගේ නිවෙසට එන්න පුළුවන් කියලා.

ඊට පස්සේ මම කියපු වෙලාවම අරවින්දගේ ගෙදරට ගියා. මම ගේට්ටුව ළඟට යද්දි හතයි පහළොවට විතර. මම අරවින්දට කෝල් කරා. මම ගියේ තනියම. අරවින්ද කෝල් එකට ආන්සර් කරලා කිව්වා . මම දැන් තමයි නැගිට්ටේ. ගෙදර සේවකයෙක් ඇවිල්ලා මට වාඩිවෙන්නන කිව්වා. මට තේ එකක් හදලා දුන්නා. අරවින්ද උඩ ඉඳලම පහළට එන ගමන් කිව්වා කපිලට කෝල් ගත්තා ආන්සර් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාව උදේ 7.20යි. මං කිව්වා දොරට තට්ටු කරලා බලන්න කියලා. මට සද්දෙ ඇහුණා අරවින්ද ගිහිල්ල දොරට තට්ටු කරනවා. අරවින්ද ආයෙත් පහළට ඇවිත් කිව්වා දොර අරින්නේ නැහැනේ කියලා.

මම ඒ වෙලාවේ කිව්වා ගෙදර වැඩ කරන අයගෙන් අහලා බලන්න කපිල එළියට ගිහිල්ලද දන්නෑ කියන්නේ නැතුව කියලා. ඊටපස්සේ මායි අරවින්දගේ බිරිඳයි, අරවින්දයි පළමු මහලට ගියා. අරවින්ද අවශ්‍යතාවයකට වොෂ්රූම් එකට ගියා.

මම අරවින්දගේ බිරිඳගෙන් ඇහුවා ගෙදර මාස්ටර් කී එකක් තියෙනවද කියලා. ඊට පස්සේ ඇය මට මාස්ටර් කී එක ගෙනත් දුන්නා. ඒකෙන් දොර ඇරියා. දොර අරිනකොට මම දුටුවා පළමුවම ඇඳේ ඇතිරිල්ල යම් යම් තැන්වල හැකිලිලා පොඩිවෙලා වගේ තිබ්බා. ඇදේ යම්කිසි ඇඳුමක කොටසක් තියෙනවා දැක්කා. ඊට පස්සේ වම් පැත්තෙ බැලුවම දොරක් තිබ්බා දොරේ උඩ ටයිපටියක් වගේ තද කොළපාට දෙයක් තිබ්බා. පුටුවක් තිබ්බා නිල් පාට. පුටුව උඩ තට්ටේ සහිත ඔලුවක් තියෙනවා දැක්කා. ප්‍රථමයෙන්ම මම මේක දැක්ක නිසා ටිකක් බයට පත්වුණා. අරවින්ද ගේ නෝනා දොර ළඟ හිටියේ. මම අතින් සංඥාවක් කරගෙන කාමරෙන් පිටතට ආවා. ඔළුවේ තට්ටේ කොටස පමණයි මම දැක්කේ. බෙල්ලේ උඩ පටියක් තියෙනවා වගේ මට නිරීක්‍ෂණය වුණා. අරවින්ද ද සිල්වා ඒ වෙලාවේ ආවා. මං කිව්වා මැරිලා වගේ. දන්න ඩොක්ටර් කෙනෙක්ට ඉක්මනින් කතා කරන්න කියලා.

මං දුටුවා අරවින්දත් එකපාරම බියට පත්වුණා. එයා කෝල් කරද්දි මම දැක්කා එයා බය වෙලා ඉන්නවා. ඔහු වෛද්‍යවරුන්ට දුරකථන ඇමතුම් ගත්තා. ඒ අවස්ථාවේ මට මතක් වුණා ළඟම තියෙන පුද්ගලික රෝහලට කතා කරන්න කියලා. ඒ අවස්ථාවේ ඔළුවට ආවෙ පණ තිබ්බොත් කපිලව බේරගන්න පුළුවන් කියන ක්‍රමය විතරයි. පස්සේ ඇම්බියුලන්ස් එකක් සහ වෛද්‍යවරයත් සමඟ තවත් කාර්ය මණ්ඩලය පැමිණියා. තුන්දෙනෙක් ඇතුළට ගියා. මට මතක විදිහට නාඩි බලනවා වගේ මම දැක්කා. පස්සේ ඩොක්ටර් බලලා කිව්වා කපිල ඩෙත් කියලා.”

සිද්ධියට අදාළව සාක්ෂි ලබාදෙමින් හය වන සාක්ෂිකරු වන කපිල චන්ද්‍රසේනගේ නිවෙසේ සේවිකාව වන සුබ්‍රහිම් ප්‍රමිලා මෙසේ ප්‍රකාශ කළා.

සාක්ෂිකාරිය – ” ස්වාමිනී, මම කපිල සර්ගේ සේවිකාව ලෙස අවුරුදු එකහමාරක වගේ ඉඳලා වැඩ කරනවා. බාන්ස් ප්ලේස් එකේ තමයි වැඩ කරන්නේ. සර් සහ මමයි තවත් සේවිකාවක් විතරයි නිවසේ සිටියේ. සර්ගේ කෑම හදනවා රෙදි හෝදනවා. රෙදි මදිනවා වගේ වැඩ කරනවා. කපිල මහතාගේ කාමරය මම තමයි පිරිසිදු කරන්නේ. ඒ නිවෙසේ තුන්දෙනෙක් ඉන්නවා. ඒ, මමත්, මගේ හස්බන්ඩ් සහ සෝමදාස කියලා අන්කල් කෙනෙක්. කපිල මහත්තයා රැකියාවක් කළා කියලා මම දන්නේ නැහැ. බිරිද දරුවන් පිටරට කියලා තමා දන්නේ. බන්ධනාගාර ගතවෙලා හිටියා කියලා දන්නවා හැබැයි බන්ධනාගාරයේ ඉද්දි බලන්න ගියේ නැහැ.

පොලිසිය – කපිල මහත්තයාට ඇප ලැබුණා කියලා දැන ගෙන හිටියාද?

සාක්ෂිකාරිය – දැනගෙන හිටියේ නැහැ. මැයි හය වෙනිදා තමයි සර් ගෙදර ආවෙ. හවස පහට විතර. වාහනයෙන් බැහැලා ආවේ මං ගේට්ටුව ඇරියා. මට මොකුත් කිව්වේ නෑ. ගේ ඇතුළට ගියා. වොෂ් එකක් දාගෙන පහළට එන්නම් කිව්වා. 7.30ට විතර කෑම කන්න ඇවිත් අපිත් එක්ක කතා කරා. අපිට කෑම හොඳද? බල්ලන්ට කෑම තියෙනවද කියලා අපෙන් ඇහුවා.

ඊට පස්සේ ‘මට පොඩ්ඩක් අමාරුයි හෙට කතා කරන්නම් ඔයාලට’ කියලා රෑ නවයයි පහළොවට විතර කාමරේට ගියා. ඊට පස්සේ පහුවදා උදේ මම කෝපි එකක් දුන්නා. පහළට ආවේ නෑ. මම උඩට ගියා ක්ලීන් කරන්න ඒ වෙලාවේ කාමරේ දොර ඇරිලා එළියට ඇවිල්ලා කෝපි එක අරගෙන මම කෝපි එක ගන්නවා. කියලා දොර වැහුවා.

පොලිසියි – ඒ වෙලාවේ කපිල මහත්තයාට දුරකථන ඇමතුම් ආවාද? එසේ පැමිණියේ නම් ඔබට ඇසුණාද ?

සාක්ෂිකාරිය – එහෙම ඇහුණේ නැහැ.

පොලිසිය – එම අවස්ථාවේදී කවුරුන් හෝ කපිල මහතා හමුවීමට පැමිණියාද?

සාක්ෂිකාරිය – කවුරුත් ආවේ නෑ.

පොලිසිය – ඊට පසු සිදුවූයේ කුමක්ද?

සාක්ෂිකාරිය – මැයි 7 හවස 3.30 විතර වගේ සර් ගියා. මට හරියටම වෙලාව මතක නෑ. සර් තනියම තමයි ගියේ.

පොලිසිය – කපිල මහත්තයාගේ කාර් රථය නැවත නිවෙසට යම්කිසි කෙනෙකු විසින් ගෙනත් දැම්මාද?

සාක්ෂිකාරිය – ඔව්. අරවින්ද සර්ගේ ඩ්‍රයිවර් කෙනෙක් ගෙදරට කාර් එක ගෙනත් දාලා යතුර මගේ අතට දුන්නා. ඊට පස්සේ සර් මට රෑ එකොළහයි තිහට විතර කෝල් කරලා කිව්වා අදින්න ඇඳුමකුයි කන්නාඩි දෙකයි බෙහෙත් ටිකකුයි, නිල් පාට බෙල්ට් එකයි එවන්න කියලා.

ඊට පස්සේ ආපහු දෙවෙනි වතාවටත් මට කෝල් කරලා කිව්වා මගේ සරම යට නිල් පාට බෙල්ට් එක එවන්න කියලා. මම ඒ සේරම දාලා බෑග් එකක් හදලා දුන්නා. ඒක, සුදුයි කළුයි තියෙන පොලිතින් බෑග් එකක්. ඒ බෑග් එකේ රූපයක් තියෙනවා. වාහනයක් එවනවා ඒකට දෙන්න කියලා මට කපිල මහත්තයා කිව්වා කෝල් කරපු වෙලාවෙ. මම ඒක වාහනෙට දුන්නා. ඒ වාහනේ ඇතුලේ දෙන්නෙක් හිටියා මට කවුද කියලා අඳුරගන්න බැරි වුණා.

පොලිසිය – එම ඇඳුම් බෑගය ලැබුණා කියලා කපිල මහත්තයා ආපහසු ඔබට‍ දුරකථන ඇමතුමක් ලබා දුන්නාද?

සාක්ෂිකාරිය – නැහැ ආපසු කතා කළේ නැහැ. සර් පසුදින උදෑසන ආවේ නෑ. සර් ආවේ නැති නිසා මම පාන්දර 6.40ට විතර කෝල් එකක් ගත්තා. ෆෝන් එක රින්ස් ගියත් ආන්සර් කළේ නෑ. මං බලාගෙන හිටියා සර් එනකම්. මොකද සර් රෑ කෝල් ගත්ත වෙලාවෙ මට කිව්වා හෙට උසාවි යන්න ඕනි ඇඳුමක් ලෑස්ති කරන්න කියලා. මම සුදු පාට ඇඳුමක් මැදලා බලන් හිටියා.

ඊට පස්සේ 7.25ට විතර CID එකේ කට්ටියක් කියලා පස්දෙනෙක් ඇවිත් හිටියා. සර් ගෙදර ඉන්නවාද ඇහුවා. සර් ගෙදර නෑ කිව්වා බොරු කියන්න එපා කිව්වා. ඊට පස්සේ මං කාමර ඔක්කොම පෙන්නුවා. ඒ ආපු මහත්වරු මගේ තොරතුරු ලියාගෙන ගියා.
ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ සෝමදාස අංකල් කෝල් කරලා කිව්වා ෆෝන් එකේ මොනාද දාලා තියෙනවා සර්ට මොකක් හරි වෙලා කියලා මගේ ෆෝන් එකෙන් බලන්න කිව්වා. මං මගේ ෆෝන් එකක් බැලුවා මුකුත් තිබ්බේ නැහැ.

ඊට ටික වෙලාවකට පස්සේ සෝමදාස අංකල් ආවා ‘අපේ සර් මොකක් හරි කරගෙන නැතිවෙලා’ කියලා මට කිව්වා.

පොලිසිය – සාක්ෂිකාරියත් ගියාද කපිල මහත්තයා බලන්න?

සාක්ෂිකාරිය – නෑ මම ගියේ නැහැ.

පොලිසිය – ඔබ ජාතික රෝහලට ගියාද?

සාක්ෂිකාරිය – කපිල මහතා හඳුනගන්නත්, බෙල්ට් එක හඳුනගන්නත් මම ගියා.

මහේස්ත්‍රාත්වරයා – ඔබ බෑග් එකේ දාලා ඔහුට මොනවද යැව්වේ?

සාක්ෂිකාරිය – කලු ටී ෂර්ට් දෙකයි, සර් බොන බෙහෙත් පැකට් ඇතුළු පර්ස් එකයි, කණ්ණාඩි කුට්ටම් දෙකයි.

මෙම මරණ පරික්ෂණයේ සාක්ෂි විභාගය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36