මාලි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් සාඩියෝ කමාරා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
බමාකෝ අගනුවර අසල ඔහුගේ නිවසට එල්ල වූ මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බායි විදෙස් වාර්තා සදහන් කළේ.
මාලි රාජ්‍ය තුළ ක්‍රියාත්මක ජිහාඩ් සටන්කාමීන් සහ බෙදුම්වාදීන් විසින් රට පුරා සිදු කරන ලද සම්බන්ධීකරණ ප්‍රහාර රැල්ලක කොටසක් ලෙස සාඩියෝ කමාරාගේ නිවසට ද මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
මේ අතර විදෙස් මාධ්‍ය පැවසුවේ සෙනසුරාදා කාටි හි අල්-කයිඩා සමඟ අනුබද්ධ සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාරයෙන් කැමාරාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද මිය ගොස් ඇති බවයි.
කමාරාගේ දෙවන බිරිඳ සහ ඔහුගේ මුණුබුරන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
සාඩියෝ කමාරා පාලක හමුදා නායකත්වය තුළ වඩාත්ම බලගතු චරිතයක් වූ අතර, සමහරුන් විසින් මාලි හි අනාගත නායකයෙකු ලෙස ද ඔහුව සලකනු ලැබුවා.
අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට අනුබද්ධ කණ්ඩායම් සහ තවත් සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් විසින් එල්ල කරනු ලබන කැරළිවලින් වසර ගණනාවක සිට මාලි රාජ්‍යය පීඩා විඳිමින් සිටිනවා.













