උතුරේ මෙන්ම දකුණේ ද සිනමා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සිව්වන දිනය වන අද (02) දිනයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා කෘති කිහිපයක් තිරගත වීමට නියමිතයි.
කලම් – සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී පෙ.ව 10.00 ට තිරගත වන Sieger sein සීගර් සයින් යනු සිරියාවෙන් බර්ලින්හි වෙඩිං ප්‍රදේශයට සරණාගතව ආ කුර්දි දැරියකගේ ජීවිතය වටා ගෙතුණු කතාවකි. එය ජර්මන්-කුර්දි අධ්‍යක්ෂිකා සොලීන් යුසෙෆ් (Soleen Yusef) ගේ දෙවැනි දිගු චිත්‍රපටයයි. ඇය විසින්ම රචනා කර අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමා කෘතියට පදනම් වන්නේ, ඇගේම බාල වියේ අත්දැකීම්ය. සරණාගත ජීවිතය, යෞවනයන්ගේ අරගල, ක්‍රීඩාවේ බලය සහ බහුසංස්කෘතික සමාජයේ එකමුතුකම ගැන සංවේදීව කතා කරන නිර්මාණයකි.
ළමා වියේ කුර්දිස්තානයෙන් ජර්මනියට සංක්‍රමණය වූ සොලීන් යුසෙෆ්ගේම අත්දැකීම් මෙහිදී ගැඹුරින් පිළිබිඹු වෙයි. 2024 බර්ලිනාලේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Generation Kplus කොටස) එහි ප්‍රථම ජාත්‍යන්තර දර්ශනය සිදු කෙරුණු අතර, ජර්මන් චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම ළමා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ දී අද (02) තිරගත වීමට නියමිත චිත්‍රපට වන්නේ එස්. ආර්. (SR) අධ්‍යක්ෂණය කළ Tales of Nate war වාර්තා චිත්‍රපටය, කේ.පී. පතක් (K.P. Pathak) අධ්‍යක්ෂණය කළ Divine Dilemma සහ අංකුරන් දත්තා (Ankuran Dutta) විසින් අධ්‍යක්ෂණය කළ ‘Bohemian Bauls’ Flute’ (2025) යන සිනමාපටයි.
කලම් – සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී පස්වරු 1.00ට තිරගත වන At the End of the Day යනු ඉරානයේ Babak Bahrambeygi) අධ්‍යක්ෂණය කළ සමාජීය චිත්‍රපටයකි.
චිත්‍රපටයේ කතාව කාන්තාවන් මුහුණ දෙන සමාජීය බන්ධන, බලයේ අසමානතා සහ ඔවුන්ගේ ජයග්‍රහණයන් වටා ගෙතී ඇත. මෙය ඉරානයේ ස්වාධීන සිනමාවේ නවතම නිර්මාණයක් ලෙස සැලකෙන අතර, කලකට පෙර කල්කටාහිදී පැවති ලෝක චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි විශේෂ ජූරි සම්මානය (Special Jury Mention) දිනා ගත්තේය. දකුණු ආසියානු සහ මැදපෙරදිග සිනමාවේ කාන්තා අභියෝග ගැන සංවේදී සංවාදයක් ඇති කරන නිර්මාණයකි. මෙම සිනමාපටය ඔස්සේ ඉරාන සමාජයේ ගැඹුරු ස්ථර සහ කාන්තාවන්ගේ නොනැවතෙන අරගල ගැඹුරින් විඳගත හැකියි.
කලම්හි පස්වරු 3.30 දර්ශනය වෙන් වී ඇත්තේ නේපාල ජාතික ත්‍රිබෙනි රායිගේ (Tribeny Rai) Shape of Momo සිනමාපටය වෙනුවෙනි. ඇගේ මංගල දිගු චිත්‍රපටය වන එය ඇය විසින්ම රචනා කර (කිස්ලේ සමඟ) සහ අධ්‍යක්ෂණය කළ සිනමාපටයකි. සිකිම්හි ගම්බද කඳුකරයේ පිහිටි පවුලක් වටා ගෙතී ඇති එය, නූතන ලෝකයේ අත්දැකීම් ලැබූ තරුණ කාන්තාවක් නැවත ගෙදර පැමිණි පසු මුහුණ දෙන පුරුෂාධිපත්‍යයේ බන්ධන, පරම්පරාගත බලාපොරොත්තු සහ කාන්තාවන්ගේ නිහඬ අරගල පිළිබඳ ගැඹුරින් කියැවෙන සිනමා කෘතියක්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ බිෂ්ණු දිල්ලියේ රැකියාව අත්හැර සිකිම්හි තම ගමට ආපසු එන තරුණියකි. ඇගේ පවුලේ පුරුෂයන් මිය යාමේ “ශාපයක්” යටතේ ජීවත් වන මව (Pashupati Rai), ගැබිනි සහෝදරිය (Shyama Shree Sherpa) සහ ආච්චි අම්මා ඇතුළු කාන්තාවන්ගේ ජීවිතවල අපේක්ෂා සහ අසරණභාවයට ඇයට මුහුණ දෙන්නට සිදු වෙයි. “මෝමෝ” හැඩයේ සංකේතය මගින් බිෂ්ණුගේ කැරළිකාර ස්වභාවය, සම්ප්‍රදායන්ට එරෙහිවීම මැනවින් ඉස්මතු කෙරේ. එය කාන්තාවන්ගේ ස්වාධීනත්වය, පන්ති භේද සහ සංක්‍රමණික කම්කරුවන්ගේ අරගල ද ගැඹුරින් ස්පර්ශ කරනවා.
කලම් – සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී අද සවස 6.15 ට තිරගත වන්නේ I am Revati සිනමාපටයයි. එය ඉන්දියානු (කේරළ) චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන පී. අභිජිත් (P. Abhijith) අධ්‍යක්ෂණය කළ සංවේදී වාර්තා චිත්‍රපටයකි. මෙය ඔහුගේ නවතම නිර්මාණයක් වන අතර, ඉන්දියාවේ ප්‍රකට සංක්‍රාන්තිලිංගික ක්‍රියාකාරිණියක, ලේඛිකාවක සහ නිළියක වන ඒ. රේවතිගේ ජීවිත ගමන වටා ගෙතුණු එකක්.
චිත්‍රපටය මගින් රේවතිගේ බාල වියේ සිටම මුහුණ දුන් අරගල, පවුල් සම්බන්ධතා, සමාජ පිළිගැනීම නොලැබී යාම, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ අත්දැකීම්, ආදරය සහ ස්වාධීනත්වය සොයාගැනීමේ ගමන – ඉතා සංවේදීව සහ සත්‍යවාදීව නිරූපණය කර ඇත. මෙයින් ඉන්දියාවේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ ජීවිතවල ගැඹුරු ස්ථර එළිදරව් වනවා.
අද සවස 6.15ට නිධි සක්සේනා (Nidhi Saxena) අධ්‍යක්ෂණය කළ ‘Sad Letters of an Imaginary Woman’ (2024) චිත්‍රපටය කාර්ගිල්ස් චතුරස්‍රයේ රීගල් සිනමාහලේ – බ්‍රොන්ස් ස්ක්‍රීන්හිදී ප්‍රදර්ශනය කෙරෙනවා.
කාව්‍යමය රූපක භාවිතයෙන් යුත් මෙය කාන්තාවන්ගේ තනිකම සහ පිරිමි පාලිත සමාජය විසින් උරුම කර දෙන ජීවිතය පිළිබඳව විග්‍රහ කරන සිනමා කෘතියක්.
චිත්‍රපටයේ කතාව පරම්පරාවෙන් උරුම වූ පැරණි, කැඩුණු නිවසක ජීවත් වන මැද වයසක කාන්තාවක් සහ ඇගේ මව වටා ගෙතුණු එකකි. නිධිගේ ළමා වියේ තුවාල (පියාගෙන් ලැබුණු අමිහිරි අත්දැකීම්) සහ මවගේ නොසෙල්වුණු ආදරයේ සෙවණැලි මෙහිදී ගැඹුරින් එළිදරව් වෙයි. නිධි තම ළමා ස්වරූපයට අහිංසක ලිපි ලියමින් සහ දුරකථන ඇමතුම් දෙමින් තම ජීවිතය නැවත ලියන්නට උත්සාහ කරයි. මව සහ දුව අතර ඇති නිහඬ බැඳීම්, අතීතය සහ වර්තමානය බිඳෙන සීමාවන් ගැන මෙය ගැඹුරු විමසීමක් කරනවා.




