පවතින හදිසි අයහපත් තත්ත්වය හේතුවෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2025.11.29 දිනැති අංක 2464/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2025 අංක 01 දරණ හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සුවිශේෂී කරුණක් ලෙස මහජනයා බිය ගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජගත වීම වැළැක්වීමට මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රතිපාදන සලසා දී තිබෙනවා.
ඒ අනුව හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ කිසිදු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ස්වංක්‍රීය පද්ධතිය හෝ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ස්වංක්‍රීය පද්ධතියන්ගෙන් යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් ආකාරයක මාධ්‍යයක් හරහා සන්නිවේදනය කිරීම, පල කිරීම, නිර්මාණය කිරීම හෝ පැතිරවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව පොලිසිය දැනුම් දෙනවා.
ඉහත වැරදි සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස් නිලධාරියෙකුට හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකුට මෙම ගැසට් පත්‍රය මඟින් බලය ලබාදී ඇති අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු මෙම වැරදි සඳහා යම් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් සැකකරුවන් පැය විසි හතරක් ඇතුළත පොලිස් ස්ථානයකට භාර දිය යුතු වනවා.
පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයා වෙත වාර්තා කළ යුතු අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් ප්‍රදේශයේ අණදෙන නිලධාරිවරයා වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතුයි.





