මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බව, අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
සියලු අධිකරණ නිලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමිනුයි එම දැනුම්දීම සිදුකර ඇත්තේ.
ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.
මේ අතර යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස නියෝග නොකළ යුතු බවට ද අදාළ චක්‍රලේඛය මඟින් දැනුම්දී තිබෙනවා.
.සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාලසීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් කටයුත්තක් සඳහා නිවෙස්වලට සහ වෙනත් ස්ථානවලට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බවට ද දන්වා තිබෙනවා.
ඊට අමතරව යම් අයෙකු කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගියහොත්, ඒ බව සහ ඊට හේතුවූ කරුණු, බන්ධනාගාර අධිකාරීවරයා විසින් මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කළ යුතු වනවා.
සැකකරුවන්ගේ හෝ සිරකරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් කරන ඉල්ලීම් මහේස්ත්‍රාත්වරු බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බවට ද අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.




