කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු ඉරාන ජාතිකයා 47 හැවිරිදි වියේ පසුවන අයෙක්.
මොහු ඊයේ (19) රාත්‍රී 08.00ට ජපානයේ නරීටා බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදුකර ගැනීමේදී , ඔහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය පිළිබද සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් ඔහුගේ සියලුම ලියකියවිලි ද සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.
එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත්; ඒ සදහා ඔහු එරට තැරැව්කරුවෙකු වෙත ඇමෙරිකානු ඩොලර් 15,000ක් ගෙවා ඇති බවත් අනාවරණය කර ගැනීමටයි හැකිව ඇත්තේ.
තවදුරටත් ඔහුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඔහුගේ සැබෑ ඉරාන ජාතික ගමන් බලපත්‍රය සහ ජපානයේ නරීටා සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.
අනතුරුව අත් අඩංගුවට ගත් මෙම ඉරාන ජාතිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.















