කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (30) රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රි 9.00ට පමණ පැමිණි පුද්ගලයින් පිරිසක් නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණා.
පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු සෙනෙහෙපුර පලන්සූරියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාල ලබා ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.




