සමාජ මාධ්‍ය කැලඹූ තාත්තට ගහපු දුවගේ සත්‍ය කතාව

“මගේ තාත්ත තමයි මම ආසම නැති මනුස්සය කියල ලියපු දරුවෙක් මේ ලෝකෙ ඉන්නව නම් ඒ මම. මොකද දන්නවද තේරෙන දවසෙ ඉඳලම තාත්තා අම්මට ගහනවා. මේ පැත්ත පළාතටම ඇහෙන්න කෑ ගහනවා. ඒක එයාගෙ සාමාන්‍ය දෙයක්.  අපිට වරදකදී දුන්නෙත් මහා පරිමාණ දඬුවම්. අම්මට කරන්න කිසිම දෙයක් තිබ්බෙ නැහැ. මගෙ අම්මා හරිම අහිංසකයි. ගුටි කකා අපි නිසා පවුල රැකගත්තා. එදා ඉඳන් මම තාත්ත කියන වචනෙ මගෙන් නොකියවෙන්න පරිස්සම් වුණා.. කතා කළේම නැහැ. ඒත් අම්ම කිව්වා  අම්මට ආදරේ නිසාවත් තාත්තා එක්ක කතා කරන්න කියල. මගෙ අම්ම මගෙ පණ.. ඒ නිසා තාත්තා එක්ක මං කතා කළා. ඒත් හිතේ තාත්තා ගැන තිබ්බ ජුගුප්සාජනක හැඟීම නම් එහෙමම තිබ්බා.  කාලය ගෙවිල ගියා. අපි බැන්දා.. ළමයි ලැබුණා.. අම්ම නැතිවුණා.. අම්ම මැරෙන මොහොතෙදි කීවා පුතෙ අක්කයි, අයියයි නම් තාත්ත්ගෙ වැඩ නිසා එයාට සලකන්නෙ නැහැ. ඒත් ඔයා මම වෙනුවෙන් මොන ජරා වැඩ කළත් තාත්තාට කන්න ටික දෙන්න කියලා”

මේ පොතක ලියවුණු ඡේදයක් නොවේ. කලකට ඉහත පමුදි කොඩිකාර මවෙත ලියා එවූ ඇගේ ජීවිතයේ ඇත්ත කතාවෙන් කොටසකි. ප්‍රමුදි කියන්නේ, අද වෙන කොට හරි හැටියට සිද්ධ වුණේ, සහ සිද්ධවෙන්නෙ මොකක්දැයි නොදැන ගේට්ටුවක් ළඟ පියෙකුට පහරදෙන වීඩියෝවක එක පැත්තක් විතරක් බැලූ  සිය දහස් ගණනකගෙ සාප කිරීමට ලක්වුණු දියණියයි. පමුදි ඉන්නෙ නාරාහේන්පිට දාබරේ මාවතේය. ඒත් ඒ දුව ඒ තාත්තාට එදා පහර දුන්නේ අද සමාජ මාධ්‍යවල රස කර කර කියන ඔය කිසිම හේතුවක් නිසා නම් නොවන බවද ඈ කියන්නීය.

“මං කසාද බැඳලා ගිහිල්ලා ආයෙ ඔය ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු එකොළහක්. මුල් දවස්වල එක ගෙදර හිටියට දැන් තාත්තයි මමයි එක ගෙදර දෙපැත්තෙ ඉන්නෙ. ඒ කියන්නෙ ගෙවල් දෙකක. එදා ඉඳලා මං මේ අද විඳින දුක විඳිනවා. අපේ තාත්තා මාසෙකට දෙකකට සැරයක් පරලවෙනවා වගේ. පොල්ලක් අරන් හොඳ වචනවලින් නෙවේ, ඉතාමත් නරක වචනවලින් මට බණිනවා. ඒ වෙලාවට  මටත් දුවටත් බණින්න, ගහන්න, මගේ ගෙදර බඩුමුට්ටු, ගේට්ටුව, දොර ජනෙල්, පොලුවලින් ගහලා කඩන්න එයාට හේතුවක් ඕන නෑ. එයා මගේ ගෙදර දේවල් කඩනවා. මං අක්කගෙ උදව්වෙන් ආයෙ ආයෙ ඒවා හඳාගන්නවා. ඒකෙන් විතරක් නවතින්නෙ නෑ. ඒ පොල්ලෙන්ම පේන්න  හිටියොත්  මටයි, දුවටයි දෙන්නටත් ගහනවා. ඒ මගේ තාත්තනෙ කියලා මුලදි මුලදි ගුටි කාලා තැළුනු තැන්වලට තෙල් බේත් දාගත්තා. ඊට පස්සෙ නොකළ වැරදි කිය කියා බණිද්දි, ගහද්දි මමත් ඒ විදිහටම බණින්න පුරුදු වුණා. ඒත් මෙච්චර කාලෙකට අතක් ඉස්සුවේ නෑ. ඒ මගේ තාත්තනෙ කියලා එතකොටත් ඉවසුවා. ඒත් එදා මගේ ඉවසීමේ සීමාව නැත්තටම නැතිවුණා.”

ඒ ඉවසීමේ සීමාව නැතිවූ තැන සිද්ධවූ සිද්ධියට මේ වන විට හිතූ හිතූ දේ එකතු කරමින් සමාජ මාධ්‍ය හරහා බෙදාහරින පිරිසක් ද සිටිති. පමුදි කියන්නේ එදත් පුරුදු ලෙස උදේම ඇය ආසන්නයේ වූ කැඳ කඩයට ගොස් කැඳ කෝප්පයක් බී තාත්තාටත්, දියණියටත් කැඳ කෝප්ප දෙක දෑතින් ගෙන ගෙදර ආ බවයි.

” මං එළියට යනකොට දුව ගේ ඇතුළෙ නිදි. වෙන දූවරුන්ට තාත්තා කියන්නේ මේ ලෝකේ ඉන්න විශාලම අරක්ෂකයා වුණට මට එහෙම නැති නිසා මං එදා ඉඳලම ගෙදර යතුර දාලා වහලා යන්නේ. මං එනකොට තත්තා පොල්ලකින් අපේ දොරට තඩි බානවා. මං ඇහුවා ‘ තාත්තේ ඔය මොකද කරන්නෙ කියලා?’ ඒක ඇහුවා විතරයි මගේ පැත්තට හැරිලා අර පොල්ලෙන් මට එකක් ගැහුවා. අතේ තිබ්බ කැඳ කෝප්ප දෙක වීසිවෙලා ගියා. ඒත් එක්කම ආයෙත් මට එකක් ගැහුවා. එතකොට මං ඉක්මනටම ගේ ඇතුළට පැනගත්තා. ඊට පස්සෙ පුරුදු විදිහට බණින්නත් ගේට්ටුවටත් අපේ දැල් දොරටත් ගහන්න ගත්තා. ඔය දැල් දොර පස් ගමනකට වඩා කඩලා තියෙනවා. ඒ වෙලේ එයාගෙ භාෂාවෙන්ම කතා කරලා කිව්වා ඔය ගහන එක නවත්තපන්. නැත්තම් මමත් උඹට ගහනවා කියලා. ඒත් නැවතීමක් නෑ. අපි දෙන්නා එළියෙන් බිත්තියට හේත්තු කරලා තිබ්බ ඉඳලයි කුඩෙයි අරන් එළියට බැස්සෙ එයාට ගහන්න නෙවේ. අපේ ආරක්ෂාවට. මෙයා අපි යද්දි බැණ බැණම පොලිසි යනව කිය කිය පස්සෙන් පස්සට ගේටුවෙන් එළියට යනගමන් එක පාරටම දුවගෙ අතින් ඇද්දා. ඒ වෙලේ තමයි ඔය දේ සිද්ධ වුණේ.. ඉතින් මමත් එයාගෙ භාෂාවෙන්ම කිව්වා පොලිසියට යන්න කියලා. ඒ වෙච්ච දේවලුත් ඔය එළියෙන් වීඩියෝ කරපු අය දකින්න ඇති. තාත්තා අපට කුණුහරුපෙන් බණිනවා ඇහෙන්න ඇති. ඇයි ඒ ටිකත් වීඩියෝ කරලා නොදැම්මේ.? ඔය ඔක්කොම කළේ මාත් එක්ක තරහ ගෙවල් දෙකක්. අපේ ගේ පේන දුරින් තියෙනවා. ඒ ගෙදර ළමයෙක් තමයි ඒක වීඩියෝ කරලා දාලා තියෙන්නේ. සිද්ධිය වෙච්ච දවසෙම පොලිසියෙන් ප්‍රශ්නෙ විසඳුවා. තාත්තගෙ පොඩි ඇඟිල්ල කැපිලා තිබුණෙ කියලා පොලිසිය දන්නවා. අර තරහ මිනිස්සු පහුවදා තාත්තා ගෙන්නගෙන අවුස්සලා රෝහල් ගත කළා. මහවෙලාවක් ඉඳලා නෑ. වාට්ටුවේ කුණුහරුප කියනවා කියලා ටිකට් කපලා ගෙදර එවලා. අපේ තාත්තා ඔහොමයි කියලා මේ හැම කෙනෙක්ම දන්නවා. නාරාහේන්පිට පොලිසියත් හොඳටම ඒක දන්නවා.”

ඒ දන්නේ මේ තාත්තාගෙන් විටින් විට සිදුවන බව කියන මෙවන් කරදරවලදී ප්‍රමුදි 119 පිහිට පැතීමෙන් පසු නාරාහේන්පිට පොලිසියට ඒ පැමිණිල්ල සම්බන්ධ වන නිසාය. එවන් බොහෝ  විටෙක නාරාහෙන්පිට පොලිසියෙන් පැමිණ මේ තාත්තාව රැගෙන ගොස් පොලිසියේ රඳවා තබයි. ඒ වරක් දෙවරක් නොවේ.

” එකොළොස් වතාවකට වඩා තාත්තගෙ කරදර ගැන අපි නාරාහේන්පිට පොලිසියේ පිහිට පතලා තියෙනවා. අන්තිමට මීට අවුරුදු එකහමාරකට වගේ කලින් අපේ ගෙදර බඩු කුඩු කරපු වෙලේ නං පොලිසි ගියා. එදාත් තාත්තා අරන් ගියා. එතන කුණුහරුප කිය කිය කෑගහලා උසාවි දාලා රිමාන්ඩ් කළා. එදා මං ළමා හා කාන්තා කාර්යාංශයට මගේ පැමිණිල්ල දාන්න ගියා. එදා එතන හිටපු වයසක WSI කෙනෙක් මට කිව්වා මේ තාත්තනෙ. විසි එක් වතාවක් ඉතිපිසෝ ගාථාව කියලා ගෙදර යන්න කියලා. ඒත් මං පැමිණිල්ලක් දාලමයි ගියේ. ඊළඟ උසාවි දවසෙ මං ගිහින් සමථයකට පත්වෙන්න කැමැතියි කිව්වා. ඒ ඇවිත් ලොකු අලාභ හානි කළේ නෑ. හැබැයි පොඩි පොඩි දේවල් කළා.  කුණුහරුපෙන් දුවටයි මටයි බණින එක නැවැත්තුවෙ නෑ. මට සමහර දවසට ගෙදරට එන්න දුන්නෙ නැහැ. මාවයි දුවයි ඉස්කෝලෙ ඉඳන් එද්දි ඇතුළෙන් ගේට් එක ලොක් කරන් අපිට කියනවා තොපි පොලිසි පලයව්.. තොපිව ගෙට ගන්නෙ නැහැ කියලා.. ඉතිං අපි එහෙම මම පොලිසි යනවා….”

” මේ සිද්ධියෙන් පස්සෙ මේ පැත්තෙ නාගරික මන්ත්‍රීයි, ඩඩ්ලි සේනානායක ඉස්කෝලේ ප්‍රින්සිපල් හාමුදුරුවොයි ඇවිල්ලා තාත්තගෙ ගෙදර බලලා. එතකොට මේ පැත්තෙ මිනිස්සු කිව්වලු මං තාත්තට සලකන්නෙ නෑ, ගෙවල් අස් කරලා දෙන්නෙ නෑ, ලයිට් දෙන්නෙ නෑ කියලා. ඒවා හැම එකක්ම අසාධාරණ චෝදනා.  

මං තාත්තට එදත් සැලකුවා, අදත් සලකනවා, හෙටත් සලකනවා. අසනීප වුණාම ඉස්පිරිතාල ගානෙ අරන් යන්නෙ මම. බැණුම් අහගෙන ගුටි කාගෙන කරන්න පුළුවන් උපරිම දේ කළා.  මගෙ යාළුවෝ කෝල් කරලා කියනවා අපි නම් සියදිවි නසා ගන්නවා, කොහොමද ඔයා ඉන්නෙ කියලා. මට වෙච්චි දේවල්වලට මගෙ හිත යකඩයක් වගේ හයියයි දැන්. මං ගොඩාක් දුක් වින්දා. ලස්සනට ඇඳලා හිනහවෙවී පාරෙ ගියාට. කන්ඩ නැතුව කුණු බක්කියක ඉඳුල් කාපු කෙනෙක්. මගෙ ළමයා කන්න නැතුව ඉඳලා හොඳට ඉගෙන ගන්න ළමයෙක්. එයාට තියෙන්නෙ මගේ හිත. “

පමුදි තාත්තා නිසාම පසුගිය අඟහරුවාදා පොලිස් අත්අඩංගුවට පත්ව පැය කීපයකට පසු උසාවියෙන් ඇප පිට මුදා හැරියේය. ඒ වෙනුවෙන් නඩුවක් ගොණු වෙද්දිත් ඈ හිතේ තාත්තා ගැන වෛරයක් නැත. ඒ නිවසේ දෙපසට වී ආයෙත් ජීවත් වන්නට සිදුවන නිසාත් ඒ ඇගේ තාත්තා නිසාත් ය.

බියංකා නානායක්කාර

සසැදි පුවත – සමාජ මාධ්‍ය රත් කළ, අම්මයි මිනිබිරියයි අසරණ පියෙකුට පහර දෙන වීඩියෝවේ සුළමුල මෙන්න

  1. පේන හැමදේම ඇත්තම නොවේ. කියන හැමදේමත් ඇත්තම නොවෙන්න පුලුවන්. ඕනෙම සිද්දියක ඇත්තේ දෙපැත්තක් පමණය. නමුත් දෙපැත්තේම කරුණු වෙනවෙනම ගද්දී දෙපැත්තම නිවැරදි බව පෙනේ. හැබැයි වෙන්න පුලුවන් දෙපැත්තේම වැරදි ඇතිබවකි. දරුවන් කුඩා කල මොනදේ කලත් මොනදේ කිව්වත් දෙමාපියෝ ඉවසනු ලබයි.ඒත් සදාතනික ඇත්තනම් දෙමාපිය්න් කියනා කරනා දේවල් දරුවන් නොරුස්සන එකය

  2. වයසට යන කොට මානසික වියවුල් ඇතිවෙනවා හොදම දේ හොද මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර කරන එක National Institute of Mental Health – Help line 1926.නොමිලේ සේවාව සපයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53