අපිරිසිදු ආකාරයන් පවත්වාගෙන ගිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ආපනශාලාව වසා දැමිමට නියෝගයක් නිකුත් කළ බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පවසනවා.
නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා සිදුකල හදිසි පරික්ෂාවක දී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පවත්වාගෙන යාම නිරීක්ෂණය වී තිබුණා.
මෙම හදිසි පරික්ෂාවේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම, නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම, ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම යන කරුණු යටතේ තවත් ආපන ශාලා අටක හිමිකරුවන් සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.
තවද නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව තාවකාලිකව වසා දැමිමට වැසුම් නියෝගයක් ලබා දුන් බවත්, එහි අඩුපාඩුකම් සපුරා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණයට ලක් කල යුතු බව ද ඔහු කියා සිටියා.





















