ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ඇති විශාල ප්‍රමාණයේ ගස් මිය යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවක් වාර්තා වනවා.
අන්තර් ජාතික රැම්සා ප්රඥප්තියට අනුව අභය භූමියක් ලෙස මෙය ප්‍රකාශයට පත් කර ඇති අතර ආනවින්දාව රැම්සා අභය භූමිය මෙරට දෙවැනි රැම්සා අභය භූමිය වේ.හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් යුක්ත ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ වැව් 05 ක් පිහිටා ඇත.පිංකට්ටිය,මරදන්සෝල,ආනවිළුන්දාව, මයියාව සහ සුරුවිල එම වැව් පද්ධතිය වේ.
මෙම වැව් ආශ්‍රිතව විදෙස් රටවල් වල සිට පැමිනෙන සංචාරක පක්ෂීන් ලැගුම් ගැනීම සිදු කරති.පරිසරවේදීන්ට අනුව මෙම භූමිය තුළ ඉතාමත්ම දුර්ලභ පක්ෂී වර්ග 150 ක් පමණ දැක ගත හැකි වේ.ඊට අමතරව වදවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති උභය ජීවීන් සහ උරග විශේෂද මෙම අභය භූමිය තුළදී දැක ගන්නට හැකියාව ඇත.
ආනවිළුන්දාව රැම්සා අභය භූමියේ වැව් වල සරුවට වැවී තිබූ රූස්ස ගස් දින කීපයක සිට මිය යන්නට පටන් ගෙන ඇති ආකාරයක් දක්නට ඇත.මෙම අභය භූමියට පැමිනෙන සංචාරක පක්ෂීන් දිවා කාලයේ ලැගුම් ගැනීම සිදු කරන්නේද මෙම දැවැන්ත ගස් තුළය.නමුත් මේ ආකාරයට ගස් මිය යාම නිසා ඉදිරි වසන්ත සෘතුවේදී මෙම භූමියට පැමිනෙන සංචාරක පක්ෂීන්ට නවාතැම් ගැනීමට ස්ථාන නොමැති වීමේ තර්ජනයක්ද ඇතිවිය හැක.
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ඇති වැව් “එල්ලංගා පද්ධතියට” අයත් වේ.එම වැව් මේ වන තුරු පෝෂණය වූයේ රතඹලාඔයෙන් ලැබුණූ ජලයෙනි. වැසි කාලයේදී වැව් ජලයෙන් පිරී ගියත් නියගය සමයේදී ඒ සියල්ල සිදී යාම සාමාන්‍ය ආකාරයට කාලයක් සිදු විය.නමුත් දැදුරුඔය හරස් කර සෙංගල්ඔය අමුණ ඉදිකිරීමෙන් පසුව නියං සමයේදී කිසියම් ජල ප්‍රමාණයක් රතඹලාඔය හරහා මෙම වැව් පද්ධතියට ලැබෙන්නට විය.එම තත්ත්වය අනුව මෑතකදී ආනවිළුන්දාව අභය භූමිය තුළ ඇති වැව් පද්ධතිය සිදී ගොස් නැත.වසරේ සෑම දිනකම වැව් ජලයෙන් පිරී තිබීම මෙම ගස් මිය යාමට හේතුව වන්නට ඇති බවට ඇතමුන් විශ්වාස කරයි.නමුත් ඒ පිළිබදව වන ජීවී දෙපාර්තමේන්තුව හෝ වෙනත් පරිසර ආයතනයක් විසින් මෙතෙක් සොයා බැලීමක් කර නැත.
මෙම වැව් පද්ධතිය තුළ ඉතාමත්ම සරුවට වැවී තබූ රූස්ස ගස් රැසක් මේ වන විට මිය ගොස් ඇති බවක් ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී දැක ගන්නට හැකි විය.පවතින තත්ත්වය දිගින් දිගටම පැවතුන හොත් වැව් පද්ධතිය තුළ ඇති සෙසු ගස් වර්ගද විනාශ වී යාම වළක්වා ගැනීමට නොහැකි වනවා ඇත.
















