ඩුබායි යන්න ආපු මගියාගෙන් රත්තරන් ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

ඩුබායි බලා යාමට පැමිණි ගුවන් මගියෙකුගෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ලබා ගත් කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත සංචාරක පොලිස් කොට්ඨාසයේ සැරයන්වරු දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් සැරයන්වරු දෙදෙනෙක්.

අද උදෑසන 11ට පමණ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මෙම සැරයන්වරු දෙදෙනා විසින් ගුවන් මගියා සතුව තිබූ ග්‍රෑම් 634ක් පමණ බරැති මෙම රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක ලබා ගෙන ඇතැයි සඳහන්.

මෙම සිදුවීමෙන් පසු ගුවන් මගියා සිය ගුවන් ගමන අතහැර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වහාම ගුවන් තොටුපොළ වෙත ගොස් මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා සහ ඔවුන් ලබා ගත් රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.