ඉන්දු-ශ්‍රී ලංකා-ජපාන ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව – ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට සහය වීමට අදාළ වාර්තාව  එළිදැක්වීම නවදිල්ලියේදී

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට සහාය වීම සඳහා වන ඉන්දු-ජපන් සහයෝගීතාවේ මධ්‍යම හා දිගුකාලීන උපායමාර්ග පිළිබඳ  වාර්තාව එළි දැක්වීම අගෝස්තු 10 වන දින නවදිල්ලියේ දී සිදුකිරීමට නියමිතයි. එය සංවිධාන කරන්නේ පාත්ෆයින්ඩර් පදනම, නව දිල්ලිය පදනම් කරගත් ප්‍රමුඛ චින්තන පර්ෂද දෙකක් වන NatStrat, විවේකානන්ද ජාත්‍යන්තර පදනම සහ ඉන්දියානු කර්මාන්ත සම්මේලනය ඒකාබද්ධවයි.


මෙම උත්සවය භෞතිකව සහ අතථ්‍ය (virtual) වශයෙන් දෙමුහුන් ආකෘතියකින් පැවැත්වෙන අතර පාර්ශ්වකරුවන් 200 කගේ පමණ සහභාගීත්වයක් අපේක්ෂා කර තිබෙනවා. වැඩසටහන මගින් බලාපොරොත්තු වෙන්නේ එළිදක්වන වාර්තාව පිළිබඳ වැඩි අවබෝධයක් ඇති කිරීම,වාර්තාවේ හඳුනාගෙන ඇති පරිදි ප්‍රමුඛතා අංශ සඳහා මූල්‍යකරණ ක්‍රම, ශ්‍රී ලංකාවේ විභව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම ව්‍යාපෘති හඳුනා ගැනීමට කැමති අදාළ ඉන්දියානු පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමයි.මෙම අවස්ථාවට සහභාගීවන පාත්ෆයින්ඩර් දූත පිරිසට එහි සභාපති බර්නාඩ් ගුණතිලක සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දයාරත්න සිල්වා නායකත්වය ලබා දෙනු ඇති.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ ප්‍රසංජිත් විජයතිලක සහ අධ්‍යක්ෂ ජනරාල් ජේ. එම්. අතුල යන මහත්වරුන් සහ  Perwiplast ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත පෙරේරා මහතා සහභාගි වීමට නියමිතයි. 

පදනම විසින් මාර්තු මස අගදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි,ඉන්දීය මහ කොමසාරිස් Gopal Baglay සහ ජපානයේ තානාපති  Mizukoshi Hideaki යන මහත්වරුන් ඉදිරියේ කොළඹදී වාර්තාව එළිදක්වා පසුව එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද පිරිනැමීමට කටයුතු කළා. ඉන්දියාව සහ ජපානය සමඟ සහයෝගිතාව වෙනුවෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර හතරක් පිළිබඳව වාර්තාව අවධානය යොමු කර තිබුණා. 

පළමු කොටස ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනය කිරීමේදී පුනර්ජනනීය බලශක්ති අංශයේ කාර්යභාරය විශ්ලේෂණය කර තිබෙනවා.

තිරසාර ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අඩු කාබන් බලශක්ති උත්පාදනයේ අත්‍යවශ්‍ය බව සහ වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා ආනයනික ෆොසිල ඉන්ධන මත දැඩි ලෙස රඳා පැවතීම අඩු කළ යුතු බව වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අඩු කාබන් බලශක්ති උත්පාදනය ඉලක්ක කරගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර LNG ජාල සම්බන්ධතාව කෙරෙහි අවධානය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස භාවිත කරමින් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය- ගුවන්තොටුපළ -දුම්රිය මාර්ග සහ සැපයුම් සම්බන්ධතා ආවරණය කිරීම  සහ සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, පුහුණුව සහ නිපුණතා සංවර්ධනය ආවරණය වන පරිදි මිනිසුන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිළිබඳ යෝජනා වාර්තාවට ඇතුලත්.වාර්තාවේ නවදිල්ලි එළිදැක්වීම සිදුවන්නේ රටෙහි ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා 18 දෙනෙකුගෙන් යුත්  ඉන්දීය නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි. 

එම කණ්ඩායම යාපනය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කළ අතර ඔවුන් සිය සංචාරය අවසන් කළේ අගෝස්තු 4 වන දින පාත්ෆයින්ඩර් පදනම වෙත පැමිණ කෙටි සැසියක් පවත්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?