ගාලු මුවදොර ප්‍රදේශයේ පිහිටි අවන්හලක තුළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (05) රාත්‍රියේ සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ 28 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අදාළ අවන්හලේ කළමනාකරු වන අතර මියගොස් ඇත්තේ ප්‍රධාන අරක්කැමියා බව සඳහන්.
සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනාම කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නවාතැන්පලක තාවකාලිකව නතර වී සිට ඇති අතර එහිදී ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ බහින්බස් වීම සිදුවී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
29 හැවිරිදි සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













