ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවූ ආකාරය ගැන පැහැදිළි කිරීමක් (වීඩියෝ)

ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටි චලනය හේතුවෙන් ඉදිරියේදී ද ශ්‍රී ලංකාවේ භූ කම්පන අපේක්ෂා කළ හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඔහු පැවසුවේ බුත්තල, වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක ඊයේ වාර්තා වූ රිච්ටර් මාපක 3.0 ක කම්පනය ද ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ චලනය හේතුවෙන් සිදුවූවක් බවයි.

ශ්‍රී ලංකාවේ සිට සැතපුම් 1000ක් පමණ දුරින් සිදුවන අභ්‍යන්තර ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි කම්පන ඇති වන බැවින් එහි බලපෑම අවම බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය දැනටමත් දෙකට බෙදීමට පටන් ගෙන ඇති අතර පසුගිය වසර 15 සිට 20 දක්වා කාලය තුළ එය සිදුවෙමින් පවතින වේගය වැඩි වී ඇති බවයි විශේෂඥයින් තහවුරු කර ඇත්තේ.

ඉන්දියන් සාගරයේ ඇති වූ මෑත කාලීන දැවැන්ත භූමිකම්පා ද පෘථිවි පෘෂ්ඨය තුළ නව භූ තල මායිමක් නිර්මාණය වීමේ එක් පියවරක් ලෙසට සැක කෙරෙනවා.

භූ විද්‍යාව පිළිබඳ පවතින න්‍යායන්ට අනුව, ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය අභ්‍යන්තරව විකෘති වීමට පටන් ගත්තේ මීට වසර මිලියන 10කට පමණ පෙර සිටයි.

ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ බොහෝ විශාල භූමිකම්පා ඇතිවන්නේ භූ තැටි ඒවායේ මායිම්වලදී තවත් භූ තැටියක් හා ගැටෙන විට සහ එක් භූ තැටියක් අනෙකට යටින් ලිස්සා යන විටයි.

ඊට අමතරව, භූ තැටි හෝ කොටස් තිරස් අතට ලිස්සා යන විට, සාමාන්‍යයෙන් කුඩා, භූමිකම්පා ඇති කරනවා.

උතුරු ඉන්දියාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ප්‍රබල භූමිකම්පා සංඛ්‍යාවක් අත්විඳ ඇති නමුත් ශ්‍රී ලංකාවට එවැනි බලපෑම් පවතින්නේ සාපේක්ෂව අවම මට්ටමකයි.

මහාචාර්යවරයා අතුල සේනාරත්න කියාසිටියේ ජාත්‍යන්තරව සිදු වී ඇති භූ කම්පන පිළිබඳ ඊයේ සහ අද දිනයේ අධ්‍යයනයක් සිදු කළ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ භූ කම්පනය සිදු වූ අවස්ථාවේ දකුණු ඉන්දීය මුහුදේ ද කම්පන කිහිපයක් සිදුවී ඇති බවයි.

ඉන් එක් කම්පනයක් සිදුවී ඇත්තේ මුහුදු පත්ලේ ඇති කාල්ස්බර්ග් කඳුවැටිය ආශ්‍රිතවයි.

මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඇතිවූ බලපෑම කාර්ල්ස්බර්ග් කඳු වැටිය අසල සිදුවූ භූ කම්පනයෙන් පසු සිදුවූ එකක් හෝ එම කම්පනය මෙරටට දැනුනු ආකාරය විය හැකි බවටයි.

එමෙන්ම වැල්ලවාය ප්‍රදේශය පසුගිය වසර 20ක 25ක පමණ කාලය පුරා සිදු වූ කම්පන සලකා බැලීමේදි එම ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 3ට අඩු කම්පන රාශියක් සිදුවී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එබැවින් එම ප්‍රදේශය භූ කම්පනවල සක්‍රිය කලාපයක් ලෙසට සැලකිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

මහාචාර්ය අතුල සේනාරත්න කියාසිටියේ භූ විද්‍යාත්මකව සලකා බැලීමේදී වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශ පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකර ශ්‍රේණියත් විජයානු සංකීර්ණයත් අතර ඇති මායිමේයි.

එම ප්‍රදේශවල පවතින විභේද නොහොත් පැලුම්වල ඇතිවන සුලු චලනයන් කුඩා කම්පන බවට පත්වී ජනතාවට දැනිය හැකි අතර වැල්ලවාය සහ අනෙක් ප්‍රදේශවලට බලපෑම් සිදු කරන්නට ඇත්තේ එවැනි කම්පනයක් බවට ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට පහලින් නිර්මාණය වෙමින් පවතින ඉන්දු ඕස්ට්‍රේලියා තල මායිම තුල ඉදිරියේදී විශාල කම්පන ද ඇතිවිය හැකි අතර ඒවා සිදුවන්නේ ශ්‍රී ලංකාවට වඩාත් දුරින් ගැඹුරු මුහුදේ වන අතර මෙරටට එමගින් බලපෑම් ඇතිවිය හැකි අවස්ථා ඉතා අඩු බව ද මහාචාර්යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකාවට භූ කම්පනයකින් සුනාමි හෝ වෙනත් අනතුරක් සිදුවිය හැක්කේ සුමාත්‍රා හෝ අන්දමන් දූපත් කෙළවර සිදුවන කම්පනවලින් පමණක් බව ද අතුල සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

එම ප්‍රදේශවල සිදුවන කම්පනයක් වුව ද ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ හැක්කේ ගොඩබිම ආසන්නයේ හෝ නොගැඹුරු මුහුදේ සිදුවුවහොත් පමණයි.

කෙසේවෙතත් නිර්මාණය වෙමින් පවතින නව භූ තලයේ සිදුවන කම්පන ශ්‍රී ලංකාවට දැනෙන අතර එය ඉතා සුළු කම්පන බව ද ඔහු ප්‍රකාශ කළා.

එම භූ තලයේ සිදුවන කම්පන හමුවේ වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශ ආශ්‍රිතව පොළොව අභ්‍යන්තරයේ පවතින විභේද දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් කම්පනයක් දැනීමට හැකි බවයි මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙන්නේ.

එමෙන්ම සිරියාව සහ තුර්කියේ සිදුවූ භූ කම්පන සහ ශ්‍රී ලංකාවේ සිදුවූ කම්පන අතර කිසිදු සබඳතාවක් නොමැති බව ද මහාචාර්යවරයා අවධාරණය කරනවා.

පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන සංවහන රටාවලට අනුව පෘථිවි පෘෂ්ඨයේ භූ තල ගමන් කිරීම සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නා.

ඉතාලියේ සිට චීනය දක්වා විහිදෙන යුරේෂියානු භූ තැටියත් අප්‍රිකානු තලයත් අතර සිදුවූ කම්පනවලින් එකක් සිරියාවේ සහ තුර්කිය ආසන්නව සිදුවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ලොව ඇති විශාලතම භූ තැටිය යුරේෂියානු භූ තලය වන අතර එහි විශාල භූ කම්පන ප්‍රමාණයක් සිදු වනවා. එම තලය සමග අප්‍රිකානු තලය සහ ඉන්දියානු තලයත් ගැටෙමින් පවතිනවා.

පසුගිය කාලය තුල සිදුවූ භූ කම්පන සියල්ල එම තල ගැටීමෙන් ඇතිවූ ඒවා බව අතුල සේනාරත්න මහතා කියාසිටියා.

මේ අතර වැල්ලවාය, මොනරාගල, බුත්තල ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසුවේ භූ කම්පන සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් එම ප්‍රදේශයේ සිට දින කිහිපයක් පරීක්ෂණ සිදු කරන බවයි.

වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන ද රික්ටර් මාපාංක ඒකක 2.3 ක සුළු භූ කම්පනයක් සිදු වුණා.

ඊයේ (10) දහවල් මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ චලන දෙකක්ද සිදු වූ අතර රික්ටර් මාපාංක 3ක් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසට එම භූකම්පන වාර්තා වුණා.

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද අලුයම සිදු වූ සුළු භූ කම්පනයෙන් කිසිදු අනතුරක් වාර්තා වී නැහැ.

මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

වැල්ලවාය, බුත්තල, මොණරාගල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ පස්වරුවේද සිදු වුණේ භූ කම්පනය රික්ටර් මාපකයේ 3ක් ලෙස සටහන්ව තිබුණා.

අවස්ථා තුනකදී පමණ කම්පන තත්ත්වය දැණුනු බවත්, පොලොව තදින් සෙලවූ බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

කෙසේවෙතත් එම භූ කම්පනය හේතුවෙන් විශාල ආපදා තත්වයක් වාර්තා නොවූ බවයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

එහෙත් නිවාස කිහිපයකට සුළු හානි සිදු වී තිබෙනවා.

බුත්තල බෞද්ධාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යයේ තිබූ කොත් වහන්සේද භූ කම්පනය හේතුවෙන් කඩා වැටී තිබුණා.

https://youtu.be/DR2d0TjBvHw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43