2027 අයවැයෙන් පොලිසියට අවදානම් දීමනාවක් – නිල ඇඳුමත් නව මුහුණුවරකින්

අලුතින් පොලිස් සේවයට බදවා ගනු ලබන නිලධාරීන් සංඛ්‍යාව ලබන වසර තුළ දසදහස සම්පූර්ණ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ 85 වන පොලිස් මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට ඊයේ (27) දිනයේ එක්වෙමින්.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අපි පසුගිය වසර දෙක තුළ පොලිස් සේවාව ඉහළට ඔසවා තැබීමටත් වෘත්තීමය භාවයක් පොලිසියකට ලබාදීමටත් සුවිශේෂි මැදිහත්වීමක් සිදුකර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම වසර පහක කාලයක් අහිමිව තිබූ උසස්වීම් මෙම වසර තුළ ජ්‍යෙෂ්ඨතා පදනම යටතේත්, කාර්යසාධන පදනම යටතේ සම්පූර්ණ කිරීමටත්, සෑම වසරක් පාසාම විධිමත් පරිදි පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමටත් කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් මේ වන විට සකස් කරමින් තිබෙන බවයි.

එමෙන්ම පොලිස් නිලධරීන් වෙනුවෙන් අවදානම් දීමනාවක් ලබාදීමට 2027 අයවැය මඟින් කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන පරිදි පොලිස් නිල ඇඳුම නව මුහුණුවරකින් නිර්මාණය කිරීමටත් අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවයි පැවසුවේ.