හොරොව්පතානටම මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් ලක්ෂ 07ක කුඩු සමඟ අල්ලයි

හොරොව්පතාන ප්‍රදේශයට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 10ක් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු හොරොව්පතාන, නෙළුගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි හොරොව්පතාන පොලිසිය සඳහන් කළේ.

සැකකරු 41 හැවිරිදි වියේ පසුවන විවාහක අයෙක් වන අතර, හොරොව්පතාන ප්‍රදේශයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති වැඩිම හෙරොයින් ප්‍රමාණය මෙය බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු තංගල්ල ප්‍රදේශයෙන් මෙම හෙරොයින් ගෙනවිත් හොරොව්පතාන ප්‍රදේශයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස සොයාගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බව වැටලීම සිදුකළ නිලධාරීන් සඳහන් කළා.

සැකකරු අද (21) දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.