ශ්‍රී ලංකා–බලූචිස්තාන සෞඛ්‍ය සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලූචිස්තාන පළාත අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, දැනුම, අත්දැකීම් හා තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීම සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

බලූචිස්තාන පළාත් සෞඛ්‍ය අමාත්‍ය Bakht Muhammad Kakar මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අතර පැවැති මෙම සාකච්ඡාවේදී, දෙපාර්ශ්වයට අදාළ සෞඛ්‍ය ප්‍රමුඛතා මෙන්ම ජනතාව වෙත ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කෙරුණා.

මෙහිදී රෝග නිවාරණය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය, සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය, නවීන වෛද්‍ය තාක්ෂණය හා ඩිජිටල් සෞඛ්‍ය ක්‍රමවේද භාවිතය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වුණා.

එමෙන්ම විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ සහයෝගීතා වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ, ජනතාවගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවීම අරමුණු කරගත් පෝෂණ වැඩසටහන්, බෝ නොවන රෝග පාලනය හා නිවාරණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, “ආරෝග්‍යා සුවතා” නව්‍ය සෞඛ්‍ය වැඩසටහන මෙන්ම පාසල් ආපනශාලා සඳහා හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳවද විශේෂ අවධානය යොමු වුණා.

අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ බලූචිස්තානය අත්කරගෙන ඇති අත්දැකීම් හා සාර්ථක භාවිතයන් මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳවද දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර අදහස් හා යෝජනා හුවමාරු වූ අතර, ඒ ඔස්සේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතා ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවෙමින් පවතින නව අභියෝගවලට කාලෝචිත හා ඵලදායී විසඳුම් සෙවීමේදී රටවල් අතර දැනුම, තාක්ෂණය හා අත්දැකීම් හුවමාරුවේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව, දෙපාර්ශ්වය අතර පවතින සබඳතා තවදුරටත් ප්‍රායෝගික සහයෝගීතා වැඩසටහන් බවට පරිවර්තනය කරමින් සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා දායක කරගත හැකි නව අවස්ථා පිළිබඳවද සාකච්ඡා වුණා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍ර සබඳතා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ තවදුරටත් පුළුල් කරමින්, දෙරටේ ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය වෙනුවෙන් වඩාත් ප්‍රතිඵලදායක සහ තිරසර වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාම සඳහා පවතින අවස්ථා කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා.

තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මෙරටට පැමිණි බලූචිස්තාන පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ දූත කණ්ඩායම, සිය සංචාරය අතරතුර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගීතාව පුළුල් කිරීම, විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම පවතින සහයෝගීතා අවස්ථා නව මානයන් ඔස්සේ පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට පාකිස්තානයේ DHIS2 (District Health Information Software 2 ) අධ්‍යක්ෂ වෛද්‍ය අබාබ්ගර්, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ඉෆ්තිකාර්, පාකිස්තානයේ HISP (Health Information Systems Programme) ආයතනයේ ඔසාමා යාකූබ්, එම ආයතනයේ ඩැනිෂ් ඉද්‍රීස්, මෙරට සෞඛ්‍ය තොරතුරු පද්ධති වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය පමෝද් අමරකෝන්, වෛද්‍ය මෝජිත ෆනෑන්ඩෝ, වෛද්‍ය සචිත්‍ර ඇතුළු පිරිසක් එක්ව සිටියා.