spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව පළමු වරට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට සූදානම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

එය හෙට (14) පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

1998 දෙසැම්බර් 02 වනදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයන් 05 දෙනෙක් ගින්නට හසුවීමෙන් මිය ගිය අතර ඔවුන් සිහිගැන්වීම වෙනුවෙනුයි 1999 වසරේ දී මැයි 04 වන දිනය, ලෝක ගිනි නිවීමේ භට දිනය ලෙස නම් කරනු ලැබුවේ.

අනතුරුව සෑම වසරකම මැයි 04 වන දින ලෝක ගිනි භට දිනය ලෝවාසීන් සමරනවා.

ලෝකයේ ධනවත් රටවල් එම දිනය සමරනු ලැබුවත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් එම දිනය සැමරීමට එක්වුයේ නැහැ.

එහෙත් මෙම 2023 වසරේ එය සැමරීමටයි කොළඹ මහ නගර සභාව කටයුතු සංවිධාන කර ඇත්තේ.

පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරුණා.

ගිනි නිවීමේ හමුදා භට ඒකකය පිළිබඳ මෙරට ජනතාවට ඇත්තේ අල්ප දැනුමක් වන අතර ශ්‍රී ලංකාව තුළ 1892 වසරේ කොළඹ නගරය මුල්කර ගනිමින් කුඩා ඒකකයක් ලෙස ආරම්භ වූ ගිනි නිවීමේ සේවාව මේ වන විට සැලකිය යුතු වර්ධනයක් ලබාගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මැයි 04 සිට 14 දක්වා විවිධ ප්‍රදර්ශන පැවැත්වීමටත් ඒ තුළින් ජනතාවට මේ පිළිබඳ අවබෝධයක්, දැනුමක් ලබාදීමට අදහස් කරන බවත් පාසල් දරුවන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබාදෙමින් උනන්දුවක් ඇති කිරීමට ද මෙම ප්‍රදර්ශනය තුළින් අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ගින්නක් පමණක් නොව අනතුරක් ඇතිවූ අනෙක් අවස්ථාවලදීත් ඔවුන්ගේ සේවා සපයන අතර විනාඩි 07ක් වැනි කෙටි කාලයක් තුළ අනතුර සිදුවූ ස්ථානයට ළඟා වුවහොත් එම ගින්න හෝ අනතුරෙන් සිදුවිය හැකි හානිය අවම කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

එවැනි කෙටි කාලයකදී ළඟා වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම මෙම රථ සේවාව ලැබිය යුතු බව ද, රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගය හමුවේ එවැනි තත්ත්වයකට යා නොහැකි බැවින් ජනගහණය වැඩි පළාත්වලට හෝ ප්‍රථමයෙන් මෙම සේවාව ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

ගිනි නිවීමේ රථ පැවතිය ද ඇතැම් අවස්ථාවල ඒ සඳහා පුහුණු සේවකයන් නොමැතිකම හේතුවෙන් සේවාව පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදාවී ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා සඳහන් කළේ එම අවශ්‍යතා සපුරාගත යුතු බවයි.

ඒ සඳහා පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් පුහුණු කර අවස්ථාව සලසා ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කෙරුණා.

දැනට පවතින ගිනි නිවීමේ රථ 34 ඉදිරියේදී රථ 60ක් දක්වා වර්ධනය කරගැනීමට ජපන් රජයේ සහාය අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම සේවාවෙහි ඇති වටිනාකම පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ ප්‍රධාන නිලධාරීතුමා වන පී. ඩී. කේ. ඒ. විල්සන් මහතා කියාසිටියේ ගින්නකදී පමණක් නොව ජනතාවට අනතුරක් වන සෑම අවස්ථාවකදීම ඔවුන්ට උදවු කිරීම සදහා නොපැකිලිව ඉදිරිපත් වීම ඔවුන්ගේ වගකීමක් බවයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා බැනර්, පෝස්ටර් යනාදියද විද්‍යුත් මාධ්‍ය හරහා විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇති බව පැවසූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ ප්‍රධාන නිලධාරීතුමා සඳහන් කළේ මැයි 14 පැවැත්වෙන සමාරම්භක උත්සවය කැළණි නව පාලම අසලින් ඇරඹී රථ පෙරහැර ඔරුගොඩවත්ත, මාළිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, ඩාලි පාර, මහජන පුස්තකාලය අසල ආර්ට් ගැලරිය යන ස්ථාන පසු කරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන්ගන්නා බවයි.

මැයි 14 පැවැත්වෙන මෙම සන්දර්ශනය සැමට අලුත් අත්දැකීමක් වන බවද එය නැරඹීම සඳහා හැකි සෑම දෙනෙකුම සහභාගී වන ලෙස ද ඉල්ලීමක් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?