වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ සේවය පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් වෙයි (වීඩියෝ)

වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර ලබන 30 වනදා විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කර තිබෙනවා.

සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයෙකු විශ්‍රාම ගන්නා විට ඔහුගේ සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කිරීම සිදුවනවා.

ඒ අනුවයි අද (24) දවසේ විවාදයට ගැණුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පස්වරු 6.30 සිට 7.30 දක්වා වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ‍පැයක කාලයක් වෙන් කෙරුණේ.

මේ අනුව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ විශිෂ්ට සේවය අගයමින් අදාළ යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. පාර්ලිමේන්තුවට ගංවතුර පැමිණි අවස්ථාවේ විදුලිය විසන්ධි වී‍ම නිසා ඉටිපන්දම් ආලෝකයෙන් පවා සභාව රැස්වීමට එතුමා දුන් දායකත්වය සභානායකවරයා මෙහිදී සිහිපත් කළා. තම සේවා කාලය තුළ විශිෂ්ට කැපවීමෙන්, තම පසුපස සහෝදර නිලධාරීන්ට මග පෙන්වමින්, නිසි පරිදි ඔවුන්ට වගකීම් පවරමින් ඉටුකළ මෙහෙවර විශිෂ්ට බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉටු කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීය බවයි. කොවිඩ් තත්ත්වය ඇතුළු පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම ඔහු ඉටු කළ සේවය අනභිභවනීය බව කථානායකවරයා සඳහන් කළා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් පවසා සිටියේ ඉතා ජවසම්පන්නව, ක්‍රියාශීලීව කටයුතු කළ එතුමාගේ මෙහෙවර අමරණීය බවයි. සෙංකෝලය ආරක්ෂා කිරීම සදහා එතුමා දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්වුණා. නිරන්තරයෙන් අභියෝගයන්ට මුහුණදුන් ඔහුගේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම් දිනය වූ අද දවස පවා අභියෝගාත්මක වූ බවත් ඒ සියලු අවස්ථාවන්ට එතුමා ඉතා සාර්ථකව මුහුණ දුන් බවත් නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වූ කැපවීම විශිෂ්ට ආදර්ශයක් බවයි. ගාලු මුවදොර පාර්ලිමේන්තුවට බැඳුනු ඔහු වසර 42ක් තරම් දීර්ඝ සේවා කාලය තුළ විවිධ අභියෝගයන් සාර්ථකව ජයගත් බව ‍අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. කොවිඩ් වසංගතය පැවති කාල වකවානුවේදී පාර්ලිමේන්තු කටයුතු ආරක්ෂාකාරීව පවත්වා ගැනීම සදහා එතුමා සිදුකළ කැපකිරීම අමතක ‍කළ නොහැකි අනභිභවනීය සේවාවක් බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ. මන්ත්‍රීවරුන්ට පැමිණීමට හෝ පිටවීමට නොහැකි අර්බුධකාරී අවස්ථාවකදී පාර්ලිමේන්තුවට ආරක්ෂාව සපයමින් දැක්වූ දායකත්වය ද අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වුණා.

එසේම මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ සෑම ක්ෂේත්‍රයකම දක්ෂයෙක් වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය සේවා කාලය තුළ විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඉටුකළ උත්තුංග සේවාව ප්‍රශංසනීය බවයි.

අනතුරුව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් එතුමාට සුභ පැතුම් එක් කළා. ඉතා ඍජු මෙන්ම මෘදු ගුණාංගයන් තුළ පිහිටා අපක්ෂපාතීව කටයුතු කළ එතුමාගේ සේවය අගය කළ යුතු බවයි ඔවුහු පෙන්වා දුන්නේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පිළිබඳ කෙටි හැඳින්වීමක්…..

කොළඹ වැල්ලවත්තේදී උපන් නරේන්ද්‍ර මිහිඳුකුමාර ප්‍රනාන්දු මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලද අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වාණිජවේදී උපාධිය ඉන්දියාවේදී හදාරා තිබේ.

පාර්ලිමේන්තුවේ සහකාර හැන්සාඩ් සංස්කාරකවරයෙකු වූ සිය පියා අනුව යමින් 1981දී ලිපිකරුවෙකු ලෙස පාර්ලිමේන්තු සේවයට එක් වන ප්‍රනාන්දු මහතා පුරා වසර 20ක කාලයක් පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල ගණනාවක සේවය කළේය. 2000 වසරේදී සහකාර වේත්‍රධාරී ධුරයට පත් වන ප්‍රනාන්දු මහතා 2002දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය වේත්‍රධාරී ධුරයට පත් විය. ඒ මහතා 2018 සැප්තැම්බර් 01 වැනි දින පාර්ලිමේන්තුවේ හයවැනි වේත්‍රධාරීවරයා ලෙස පත් විය.

වසර 5 කට අධික සිය සේවා කාලය තුළදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා ලෙස පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ප්‍රනාන්දු මහතා අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඒ අතර දින 52 ආණ්ඩු වෙනස් වීමේදී මුහුණදුන් අභියෝග සාර්ථකව ජය ගැනීම, කෝවිඩ් වසංගත සමයේ පාර්ලිමේන්තු රැස්වීම් බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු ඉටු කරමින් ගරු මන්ත්‍රීතුමන්ලාගේ සහ කාර්‍ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභසාධනය සැලසීම, පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කිරිම සඳහා ආරක්ෂක අංශ සමඟ එකතු වී විවිධ පියවර ගැනීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී පාර්ලිමේන්තු මහලේකම්තුමාට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු සංකීර්ණය තුල ගරු ජනධිපතිතුමා දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කිරීම, සෙංකෝලය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කිරීම ආදිය දැක්විය හැකිය.

1992 – 2010 වසර වලදී පාර්ලිමේන්තු සංකීර්ණය තුල ඇති වූ ගංවතුර තත්වයන් පාලනය කිරීම සඳහා කටයුතු කිරීම, 1987 පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාර සිද්ධියේ දී එවකට ගරු කථානායක තුමාගේ පුද්ගලික සහකාර ලෙස සේවය කරමින් සිටින අවස්ථාවේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 1995 සහ 2014 යන වසරවලදී කොළඹ පැවති වාර්ෂික සමුළුවල සංවිධාන කටයුතුවලදී ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය තුළදී විශේෂ අවස්ථාවන් වේ.

එයට අමතරව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සහ පාර්ලිමෙන්තුවේ ආරක්ෂාව සම්බන්ධව පැවති දුර්වලතා මගහරවා ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමට ප්‍රනාන්දු මහතා වේත්‍රධාරීවරයා ලෙස පියවර ගත්තේය.

වෘත්තීය සුදුසුකම් ලත් ගණකාධිකාරීවරියක වන තුෂාන්ති ප්‍රනාන්දු සමග විවාහ වී සිටින ප්‍රනාන්දු මහතාගේ එකම පුත් අනුජ ප්‍රනාන්දු මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18