spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කිරීම වැළැක්වූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මේ මස 09 වනදා දක්වා තව දුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

අදාළ බදු අය කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම් පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර විනිසුරු සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය ප්‍රකාරව මෙවැනි පූර්ණ විනිසුරු මඩුල්ලක් නියම කිරීමට අභියාචනාධිකරණයට හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාල බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් නිකුත් කර තිබෙන තහනම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

පූර්ණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම නඩුව මාර්තු මස 9 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඊට අමතරව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කිරීම වළක්වාලමින් දැනටමත් නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් එම නියෝගයේ වැඩි දුරටත් සඳහන්.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන කණ්ඩායමක් බවයි.

එබැවින් තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විෂය පථයට ඇතුලත් නොවන බව පෙන්වා දෙන විනිසුරු සංගම්, තමන්ගෙන් බදු අය කිරීම නීතිවිරෝධී බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?