spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල අඩු කිරීම පෙබරවාරි මුල් සතිය වන විට (වීඩියෝ)

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී අතර ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

2023 වසරේ දී අප විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කළා. පැවති විදුලිබල පනතේ අඩුපාඩු සකස් කර පාරිභෝගිකයන්හට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයේ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාව සහ නියාමනයට අදාළ කරුණු නව පනතට ඇතුලත් කරමින් තිබෙනවා.

ඒ වගේම විදුලිබල උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 70%ක විදුලිබලයක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ඉලක්ක කරමින් ජනන සැලැස්ම සකසා තිබෙනවා. එම සැලැස්මට අනුව 2024 වසරේ දී අප මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම සූර්ය පැනල ඉදිකිරීම අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා කඩිනම් සැලැසුමක් ක්‍රි යාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා. මන්නාරම, පුනරීන් සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා විශාල ව්‍යාපෘති රැසක් ජනන සැලැස්මට එක් කර තිබෙනවා.

එමෙන්ම ජලවිදුලිය, සූර්ය බලය සහ සුළං බලය භාවිතා කරමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර විදුලි බිල තවත් අඩු කිරීම අපගේ අරමුණයි. විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම 2024 වර්ෂයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි.

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙනවා.ඒ වගේම සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිතයි. විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මකයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්ව එහි සේවකයින් සිදු කරන විරෝධතා අවසන් දිනට අදත් ක්‍රියාත්මක වුණා.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි දෝශ රැසක් මතු වී තිබීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කෙරුණා.

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් පසුගිය 3 වැනිදා සිට දින 3ක විරෝධතාවක් ආරම්භ කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියළු සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබූ පසුබිමකයි.

සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබුණත් විදුලි සේවකයින් දින 2ක් විරෝධතාව පැවැත්වූ අතර අවසන් දිනටත් අදාල විරෝධතාව අදත් සංවිධාන කර තිබුණා.

මේ අතර පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය මාස තුන තුළ අඛන්ඩව ජල විදුලිය ජනනය කිරීමෙන් ලැබුණු ලාභය ජනතාවට ලැබිය යුතුය යන තීරණයේ ලංකා විදුලිබලය මණ්ඩලය සිටින බවයි.

එසේම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මේ මස 15 වනදාට පෙර මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?