වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා භාර දුන්නා.
එහිදි මහාධිකරණය නියෝග කලේ චූදිතයන් නව දෙනා ඇප මත මුදා හරින ලෙසයි.
එමෙන්ම මුදල් ඇප ගෙවීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස චුදිතයන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම සකල බැලු අධිකරණය ඒ සඳහා වෙනත් දිනයක් ලබා දුන්නා.
2023 දෙසැම්බර් 30 වැනිදා රාත්රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම කර තිබුණා.
2025 පෙබරවාරි 28 වැනිදා මාතර මහේස්ත්රාත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කිරීමට මාතර එවකට මහේස්ත්රාත්වරයා නියෝග කළා.
එම මුල් අටදෙනා වන්නේ දේශබන්දු තෙන්නකෝන්, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, පොලිස් සැරයන් ප්රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්රියශාන් සහ රියදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයයි.
ඔවුන් සමඟ මෙහෙයුමට ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියෙන් එල්ල වූ වෙඩි ප්රහාරයෙන් මියගොස් තිබුණා.
පසුව එවකට CCD වැඩබලන අධ්යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාද අධිකරණයට භාරවීමෙන් මෙම විමර්ශනයේ නවවැනි සැකකරු බවට පත්වුණා.










