වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය යළිත් පැවැත්වීමට නියෝග

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හරහා සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා.

අගතියට පත් පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මෙම නියෝගය අද (09) නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනි, වැලිකඩ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම තරුණයා මියගොස් තිබෙනවා. නමුත් මෙම තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත්වන්නේ නෑ. මොකද ඔහුගේ මවට කරුණු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දීලා නෑ. ඒ නිසා, මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතිනවා. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වගන්තිය යටතේ අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පූර්ණ බලය පවරා දී තිබෙනවා. එම නිසා මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වූ නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

” ස්වාමීනි, මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ මවට සැකයක් තිබෙනවා. ඇය ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙනුත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. මොකද මිය යන්නට පෙර අදාළ තරුණයා ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙනවා තමන්ට පහර දීමක් සිදු වූ බව. පසුව මව කෑම රැගෙන පොලිසියට ගිය අවස්ථාවේ දී ඇයට දැනගන්නට ලැබී තිබෙනවා, ඔහු මියගොස් තිබෙන බව” එහෙයින් මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සේනක පෙරේර සඳහන් කළා.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණයට අදාළව මුලින් ම නුගේගොඩ පොලිස් කොට්ඨාසය මාර්ගයෙන් විමර්ශන කළ බව පැවසුවා.

” ස්වාමීනි… වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. අප විමර්ශන භාර ගත්තාට පස්සේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට පොලිසියට රැගෙන ආ අවස්ථාවත්, පොලිසියේ සිට අංගොඩ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවත් දක්වා අවස්ථා ආවරණය වන පරිදි විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ යටතේ මෙම තරුණයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ පුද්ගලයින්ගෙන් හා ඔහු ඇසුරු කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ වගේ ම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේත් වැඩිදුර විමර්ශන කරනු ලබනවා. එසේ ම මිය ගිය තරුණයාගේ ලේ සාම්පල් හා මෘත ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගතියට පත් පාර්ශ්වය කරන ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවත් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉහත එකී නියෝගය නිකුත් කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 30 වැනි දා යළි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14