රවී සෙනෙවිරත්න සහ ශානිගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා, හිටපු පොලිස්පති දේශබන්දු තෙණ්නකෝන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

එමෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් දේශපාලන වුවමනා මත පාස්කු ප්‍රහාරයට සම්බන්ධව පෙත්සම්කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුකර තිබෙන පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර කිසිවක් ගැනීමක් සිදුනොකරන ලෙස ද විනිසුරු මඬුල්ල නියෝග කළා.

ඒ අනුව එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් සහ අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වනවා.

වග උත්තරකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේෂ සහගත පැමිණිල්ලක් බවත් ඒ මත විමර්ශන ඇරඹීම තුළින් වග උත්තරකරුවන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළවයි.

අදාළ පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ, මෙම පෙත්සම්කරුවන් දෙදෙනා ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාමාජිකයින් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන අතර 2023 වසරේදී ඔවුන් ඇතුළු පිරිසක් විසින් මෙම සංසදය පිහිටුවා ඇති බවයි.

පසුගිය ජුනි මස නව වනදා මහරගමදී විශ්‍රාමික පොලිස් නිලධාරීන් 2500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එහි ප්‍රථම රැස්වීම පවත්වා ඇති අතර, ඉන් දින කිහිපයකට පසු එනම් ජුනි 13 වැනිදා හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ හිටපු සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ ඇතුළු පිරිසක් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙත්සම්කරුවන්ට එරෙහිව ද්වේශසහගත සහ අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව පෙත්සමේ සඳහන් වනවා.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු රවී සෙනෙවිරත්න විසින් සිතාමතාම සඟවාගෙන සිටි බවට එහිදී චෝදනා කර තිබෙනවා.

එහෙත් මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ, අදාළ බුද්ධි තොරතුරු වාර්තාව රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ 2019 අප්‍රේල් 09 වැනිදා වන විට රවී සෙනෙවිරත්න ඉන්ටර්පෝල් සමුළුවක් සඳහා ප්‍රංශයට ගොස් සිටි බවයි.

ඔහු නැවත දිවයිනට පැමිණ අප්‍රේල් 16 වැනිදා වැඩ භාරගැනීමෙන් පසු අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත වහාම යොමු කර ඇති බවත් කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ අතපසුවීමක් හේතුවෙන් ප්‍රමාද වී එය ශානි අබේසේකර වෙත ලැබී ඇත්තේ අප්‍රේල් 20 වනදා බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මීට අමතරව පාස්කු ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාතවිල්ලුව ලැක්ටෝවත්ත සහ මාවනැල්ල ප්‍රදේශවල සිදුකළ විමර්ශන මෙන්ම සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට ගත් දැඩි උත්සාහයන් පිළිබඳව ද පෙත්සමේ සඳහන් කර ඇති අතර, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් වවුනතිව් ඝාතන සිද්ධියේදී යතුරුපැදි ජැකට්ටුවක් යොදාගනිමින් සහ වෙනත් අවස්ථාවලදී සිය විමර්ශන මඟහැරවීමට හා නොමඟ යැවීමට කටයුතු කළ ආකාරයද එහි තවදුරටත් අනාවරණය කර තිබෙනවා.

මෙම දේශපාලනික අරමුණු මත ගොනු කළ අසත්‍ය පැමිණිල්ලකට අනුව තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දුන් පෙත්සම්කරුවන්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිශ්චිත සහන කිහිපයක් ඉල්ලා තිබුණා.

ඒ අනුව අදාළ පැමිණිල්ල මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.

යම් හෙයකින් මෙම පෙත්සම විභාගයට ගැනීමට පෙර තමන්ව අත්අඩංගුවට ගතහොත් වහාම නිදහස් කරන ලෙස නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

තවද කල්මුණේ ආරක්ෂිත නිවසේ පිපිරීමට අදාළ විමර්ශන වාර්තා සහ සහරාන්ගේ බිරිඳ වන හාදියාගෙන් ලබාගත් ප්‍රකාශය අධිකරණයට කැඳවන ලෙසත් තමන්ට එරෙහිව පවතින විමර්ශනවලින් තමන්ව නිදහස් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02