මේ දවස් වල අපිත් වැඩ කරන්නේ ඩේලී පේමන්ට් වලට…

දශක ගණනාවක සිට පුංචි තිරය, සිනමාව හැඩ කරන අනුරාධා උදයංගනී, එකල ටෙලිනාට්‍ය ඔස්සේ නිරතුරුවම මුණ ගැසුණු පෙම්වතියගේ චරිතයෙන් සහෘද හිත් වශීකරගත් රංගන ශිල්පිනියකි. විටින් විට විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට සමීප වන ඇය මේ දිනවල අඳුන්ගිර ටෙලි නිර්මාණයෙන් සුවිශේෂි චරිතයකින් මුණ ගැසෙනවා. අද කතාබහේ කතානායිකාව ඇයයි.

ඉතින් කොහොමද මේ දවස්වල අලුත් තොරතුරු?

බොහොම කාලෙකට පස්සේ පසුගිය කාලේ හොඳ ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරන්න ලැබුණා. හර්ෂ උඩකන්ද මහතාගේ ලොක්කි, ඉන්දික ධර්මපාල මහතාගේ අඳුන් ගිර, තව තිළිණ බොරලාන්සගේ ‘‘හිතුවක්කාර’’ කියන ටෙලිනාට්‍යවල මේ දවස්වල වැඩ කරගෙන යනවා.

අඳුන්ගිර අනුරාධාට වෙනස්ම හැඩයක් ගෙනදුන් නිර්මාණයක්?

ඇත්තටම ඔව්. අඳුන්ගිර ටෙලිනාට්‍යයේ චිත්‍රලතා කියන්නේ කාලෙකට පස්සේ මට ලැබුණු වෙනස්ම චරිතයක්. අඳුන්ගිර කියන්නේ ඉන්දික ධර්මතිලක මල්ලිගෙ දෙවෙනි ටෙලිනාට්‍යය. ඉන්දික මල්ලිගේ ‘‘ගිරිදේවි’’ විකාශනය වූ කාලේ සිටම ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ ඒ වගේ ටෙලිනාට්‍යයක වැඩ කරන්න ලොකු කැමැත්තක් තිබුණා. අඳුන් ගිර නිෂ්පාදිකාව නුවන් වලිමුණි මගේ සහෝදර ශිල්පිණිය තමයි ‘‘චිත්‍රලතාගේ’’ චරිතයට මට ආරාධනා කරන්නේ. පිටපත අතට දුන්නම ඒ චරිතයට මට ගොඩක් ලෝභ හිතුනා. ඒ චරිතය ඇතුළේ මට කරන්න ගොඩක් දේවල් තිබුණා. චිත්‍රලතා කියන්නේ බාහිර ස්වරූපයෙන් පවා මාව වෙනස් කරපු චරිතයක්.

චිත්‍රලතා ගැනත් කතාකරමු?

චිත්‍රලතා කියන්නේ සැමියා මියගිය පුතෙක් එක්ක තනිවුණු ගැහැණියක්. ඒ වගේම දරුවව උස් මහත් කරන්න නොවිඳනා දුක් විඳින ගැහැණියක්. මට මෑතක දී ලැබුණු චරිත එක්ක ගත්තම චිත්‍රලතා කියන්නේ මට හොඳ අත්දැකීම් රැසක් එක්ක රඟපාන්න ලැබුණු චරිතයක්. ඇත්තටම නිලියක් විදිහට මම චරිතවලට ලෝබයි. චිත්‍රලතා කියන්නෙත් මට ලෝබ හිතුන චරිතයක්.

මෙහි රූගත කිරීම් කරන්නේ අතිශය කාෂ්ටක වියලිම ප්‍රදේශයක් වන විලච්චිය ප්‍රදේශයේ. දුෂ්කර වුණත් ඒක සුන්දර අත්දැකීමක්.

හිතුවක්කාර ටෙලිනාට්‍යක් ඔබට සුවිශේෂි වුණ නිර්මාණයක?

ඇත්තටම, අවුරුදු 22 ක වගේ කලා ජීවිතේ ඇතුළේ බොහෝ දැවැන්ත ප්‍රවීණ පිරිස එක්ක මට වැඩකරන්න ලැබුණා. ඒත් මාලනී ෆොන්සේකා මහත්මිය සමග මට රඟපාන්න අවස්ථාව ලැබුණේ නැහැ. අවුරුදු 22කට පස්සේ හිතුවක්කාර හරහා මට මාලනී ෆොන්සේකා මහත්මිය එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි.

කාලයක්ම පෙම්වති ලෙස පුංචි තිරයේ ආදරය දිනාගත් ඔබ දැන් පුංචි තිරයේ මවක්?

කාලය මැව් වෙනසක අරුමේ කියන්නේ ඒක තමයි. දශක ගණනාවක්ම නේත්‍රා, මංගල්‍ය, පියගැටපෙල, දඹකොල පටුන, රන්දළඹුවේ වගේ විශාල ටෙලිනාට්‍ය ප්‍රමාණයක මම දායක වුණු හැම චරිතයක්ම මට ලැබුනේ පෙම්වතියගේ චරිත. දැන් ඉතින් කොට ගවුමක් ඇඳගෙන පෙම්වතියගේ චරිත රඟපාන්න බෑනේ. රූපෙන් පෙම්වතිය වෙන්න බැරි වුණාට හදවතින් පෙම්වතියක් වෙන්න වයස් භේදයක් නැහැ. මම දැන් සුදුසු මවකගේ චරිතවලට. මට ලැබෙන චරිත ගැන මම ඇත්තටම සෑහීමකට පත්වෙනවා.

පුංචි තිරයේ පෙම්වතිය වුණු ඔබට සිනමාව පැත්තෙන් නිර්මාණවලට දායකවෙන්න අවස්ථාන් අඩු වුණේ ඇයි?

ඇත්තටම ඔව්. චිත්‍රපටි පැත්ත මට මග ඇරුණා. මම ක්ෂේත්‍රයට ආපු කාලේ 99 වගේ නිර්මාණය වුණු චිත්‍රපටිවලට විවිධ හේතු මත මට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද මම පවුලේ එකම දරුවා. තාත්තා වැඩිය කැමති වුණේ නැහැ මම කලාවට එනවට. එයාට ඕන වුණේ මට මොන ක්ෂේත්‍රයකින් හරි රජයේ රැකියාවකට යොමු කරන්න. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ වසන්ත ඔබේසේකර මහතාගේ ‘‘සලෙළු වරම’’ චිත්‍රපටයේ චරිතයකට ආරාධනා ලැබුණත් මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ පිළිබඳව මම අදටත් දුක්වෙනවා. ඒ චිත්‍රපටයේ රූගතකිරීම් තිබුණේ කොළඹින් පිට. ඒ කාලේ තනියම මාව නිර්මාණවලට යවන තත්ත්වයක් තිබුණේ නැහැ. කොහොම හරි ඒ අවස්ථාවට අම්මාට යන්න බැරි වුණ නිසා ඒ චිත්‍රපටය මට අතාරින්න වුණා. 

ඔබේ ගමන් මග ගැන සිහිපත් කළොත්?

1999 වසරේදී තමයි මම කලාවට මුලින්ම පිවිසෙන්නේ. පුංචි කාලේ ඉඳලා මම හීන මැව්වේ නැටුම් ගුරුවරියක් වෙන්න. මම නර්ථන ශිල්පිනියක් ලෙසත් කාලයක්ම වැඩ කටයුතු කළා.

උසස් පෙළ කරලා ඉන්න කාලෙදී පත්තරවල මුල් කවරයට අලුත් මුහුණු සෙව්වා. මගේ ඥාතියෙකු හරහා නර්තන ශිල්පිණියක් ලෙස රිද්ම පත්තරේ කවරයකට පෙනී හිටින්න මට අවස්ථාව ලැබුණා. ඒකෙන් පස්සේ තවත් කාන්තා පුවත්පත් කිහිපයකත් මුල් පිටුව හැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඔය කාලේ සිරිකත පුවත්පතේ පළවුණු මගේ මුල් කවරය දැකලා තුසිත ද සිල්වා මහත්මා නිෂ්පාදනය කරපු ඇන්ගෝරා නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. තිර පරීක්ෂණයකින් තමයි මාව තෝර ගත්තේ. ඊට පස්සේ දිගින් දිගටම මට නිර්මාණ සඳහා ඇරැයුම් ලැබුණා. සිරිකත පුවත්පතේ මුල් කවරය නිසා තමයි මම නිළියක් වුණේ. ඒ කාලේ ටෙලිනාට්‍ය, රංගනය ගැන දැනුමක් තිබුණේ නැහැ. ඉගෙන ගන්න ආයතන තිබුණෙත් නැහැ. තුසිත මහත්මා ඇතුළු ප්‍රවීණ පිරිසගෙන තමයි මම රංගන කලාව ඉගෙන ගත්තේ. අද පහසුවෙන් ඕනම කෙනෙකුට රංගන කලාවට එන්න අවස්ථා තියෙනවා. දක්ෂතා තියෙන අයට ඒවා පෙන්වන්න මාධ්‍යවලින් අනුග්‍රහය ලැබෙනවා. එදා අපිට ඒවා තිබුණේ නැහැ. අපි ක්ෂේත්‍රයට අවේ අපේ දක්ෂතාව මත.

වර්තමානයේ නිළි රැකියාවෙන් හොඳ ආර්ථික වටිනාකමක් හදාගන්න පුළුවන් ද?

අද වෙනකොට අපිට දවසේ මුදලට තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. හරියට දවසේ කුලී කාරයෝ වගේ. මම ඩේලි පේමන්ට්වලට හරිම අකමැතියි. ඒත් අපිට දැන් කරන්න වෙලා තියෙන්නේ එහෙම. ගෙවන මුදල දක්ෂතාව, ප්‍රවීණත්වය මත වෙනස් විය යුතුයි. ඒත් දැන් යන තත්ත්වය අනුව එය වෙනස් කිරීම අපහසුයි.

පවුලේ විස්තර ටිකකුත් කියමු!

මගේ ස්වාමිපුරුෂයා හරිත වික්‍රමආරච්චි. ඔහු මාධ්‍ය සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ වගකිවයුතු ආයතනයක සේවය කරනවා. මගේ කලා කටයුතුවලට ඔහුගෙන් ලොකු සහයක් ලැබෙනවා.

නදීශා අතුකෝරළ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26