මුදල් වංචා කළ හිටපු යුධ හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට

ලිහිසි තෙල් තෙල් ලබා දිය හැකි බව පවසමින් මුදල් වංචා කරන බවට සැකකරන හිටපු යුධ හමුදා කපිතාන්වරයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සේනපුර යුධ හමුදා ආබාධිත සෙබළුන් රැදී සිටින ස්ථානයේ කාලයක් සේවය කළ හිටපු යුධ හමුදා කපිතාන්වරයෙකුවය.ඔහු ඉබ්බාගමුව – උඩුවෙල පදිංචිකරුවෙකි.

යුධ හමුදා නිල ඇදිමින් සැරසුණු කපිතාන්වරයෙකු තමන් හමුවට පැමිණ ලිහිසි තෙල් බැරල් 15 ක් ඇති බවත්,ඒ සදහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීමට හැකි දැයි විමසූ බව පුත්තලම – පාලාවියේ පදිංචි ව්‍යාපාරියෙකු පොලීසියට පැමිණිළි කර ඇත.එම මුදල් ගණු – දෙණුව කථා කළ ආකාරය සැක සහිත බවද පැමිණිළිකරු පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ඒ අනුව පුත්තලම පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් කරන ලද තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 2019 මාර්තු මස 10 වෙනිදායි අනතුරුව මෙතෙක් සේවයට වාර්තා කර නොමැති බවද පොලීසිය විසින් සිදු කර ඇති විමර්ශණ වලදී හෙලිවී ඇත. එමෙන්ම සැකකරු සතුව ලිහිසි තෙල් අලවි කිරීමට බලපත්‍රයක්ද නොමැති බව පොලීසිය පවසයි.

සැකකරු මේ ආකාරයට දිවයිනේ ස්ථාන කීපයකදී ලිහිසි තෙල් ගණු දෙණු සම්බන්ධයෙන් කථා කර මුදල් වංචා කර ඇති බවට තොරතුරු ඇති බව පොලීසිය කියයි.ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශණයක් ආරම්භ කර ඇත.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.