මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

නාමයෝජනා කැඳවීම අවසන් වීමෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුකූලව ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතායි මෙම ප්‍රතිඥා ලබාදී ඇත්තේ.

මෙම පෙත්සම් දෙක අද ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ආරම්භ කර ඇති අතර එය ලබන 21 දා අවසන් වන බවයි.

එම නාමයෝජනා කැඳවීම අවසන් වීමෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම් පනත ප්‍රකාරව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් දන්වා සිටියේ මැතිවරණ කොමිසමේ එම ප්‍රතිඥාව සටහන් කර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි මස 14 වනදා කැඳවීමට ද දින නියම වුණා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම් ඒ සුමන්දිරන්, අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන වසරේ මාර්තු මස 19 වන දා අවසන්වීමට නියමිතව තිබෙන බවයි.

ඒ අතර මහ නගර සභා 24 ක් ද නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ඇති බව ද පෙත්සමේ සඳහන් වෙනවා

එහෙත් අදාළ පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ කොමිසම මෙතෙක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් පෙත්සම් වලින් චෝදනා කර තිබෙනවා.

ජනමාධ්‍ය මගින් නිකුත් වන වාර්තා පිරික්සීමේදී අදාළ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ බලධාරීන් මාන බලමින් සිටින බවක් පෙනී යන බවද පෙත්සම් වලින් සදහන් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුව යම් පළාත් පාලන ආයතනයක නව නිල කාලය ආරම්භ වීමට මාස හයකට පෙර ඊට අදාළ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ බලධාරීන් විසින් අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බව දක්වා ඇතැයිද පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා.

එහෙත් වග උත්තරකාර මැතිවරණ කොමිසමේ බලධාරීන් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන බවත් පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මාර්තු මස 20 වනදායින් ඇරඹෙන පළාත් පාලන ආයතන සඳහා වූ නව නිල කාලය උදෙසා වන ඡන්ද විමසීම පැවැත්වීමේ අභිලාෂය ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් තවදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13