බාල එන්නත් නඩුව සැප්තැම්බර් 16 තෙක් කල් යයි – විත්තිකරුවෙකුට රතු වරෙන්තුත්

ප්‍රමිතියකින් තොරව රජයේ මුදල් වැය කරමින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සඳහා නඩුව ලබන සැප්තැම්බර් මස 16 වන දින කැදවීමට කොළඹ අංක 2 ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) නියම කළා.

මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදි මේ බව නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් දස දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ව පෙර ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියම කළා.

එසේම පළවෙනි විත්තිකරු මේවන විට බන්ධනාගාරගතව සිටින හෙයින් ඉදිරි දින ඔහුව අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියම කළා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

“ස්වාමීනි, මෙම නඩුවේ නම වන සැකකරු ලෙස නම් කර සිටින වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී 2023 වසරේ නොවැම්බර් මස 12 වන දින සිට 2024 පෙබරවාරි මස 09 දින දක්වා කාලය තුළ එංගලන්තයේ නිවාඩුවක් ගත කිරීමට යාමට ඉල්ලීමක් කර තිබුණා. ඔහු නොවැම්බර් 12 වන දින ලංකාවෙන් පිටතට ගිය බවට ආගමන විගමන වාර්තා සඳහන් වන අතර ඔහුගේ නිවාඩුව අවසන් වීමට තිබූ පෙබරවාරි නමවන දින හෝ ඊට පසුව වුවත් ඔහු ලංකාවට පැමිණ තිබුණේ නැහැ ස්වාමීනි. මෙම විත්තිකරු හිතාමතා අධිකරණය මගහැර තියෙන බවට පෙනී යනවා. 2024 පෙබරවාරි මාසයේ 24 වන දින මෙම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියා. එම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට ජාත්‍යන්තර චතු වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා ස්වාමීනි. ඉදිරියේදී මෙම විත්තිකරු සම්බන්ධයෙන් පියවර ගැනීමට ද පැමිණිල්ල බලාපොරොත්තු වෙනවා.”

“එසේම ස්වාමීනී රජයේ මුද්‍රණාලාධිපති විසින් අප වෙත ලිපියක් යොමු කර තිබෙනවා. විත්තිකරුවන්ට ලබා දෙන අධි චෝදනා පත්‍ර සමඟ දෙන ලද ඇමුණු පමණක් එක් අයෙකුට 866,575 මුදලක් වැය වන බවට එම ලිපියේ සඳහන් වන අතර ඒ අනුව දින 21 ක කාලයක් එයට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා ස්වාමීනි.”

“මෙම සියලුම කාරණා සැලකිල්ලට ගෙන විත්තිකරුවන් සියලු දෙනාම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක අධි චෝදනාපත්‍ර භාරදීමට පැමිණිල්ල අවසර ඉල්ලා සිටිනවා ස්වාමීනි. “

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සඳහා ලබන සැප්තැම්බර් 16 වන දිනය නඩුව කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ නෙරංජන් ජයසිංහ ,නීතිඥ අශෝක සේරසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව  නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් දහ දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර පළමු විත්තිකරු ලෙස නම්කර සිටින ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙවූ බව කියන එම සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, යන අය මේවන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර දහ වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශ ගතව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණා.

2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේශාත් අධිකරණය හමුවේ නඩු පැවරුවා.

එලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත  යොමු කර ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21