බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත් විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, 2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑස්වලට නයි මිරිස් සාරය වක්කොට හිංසා සිදු කිරීම තුළින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින්.

හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවක් සහ ඔහුගේ භාරකාරිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙසයි හතරලියද්ද පොලිසියේ එවක වැඩබලන පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ.

ඊට අමතරව යම් බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම පෙත්සම්කාර දරුවාව 2022 වසරේ අගෝස්තු මස 07 වන දින සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

ඉන් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් වධ හිංසනයට භාජනය කරමින් ප්‍රශ්න කර තිබෙන බව අනාවරණය තිබෙන බවත් තීන්දුවේ සඳහන්.

ප්‍රශ්න කිරීම් සිදුවන අතරවාරයේ දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වධහිංසාවට බඳුන් කර ඇති අතර ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි සාරය ගෙන දරුවාගේ දෑස්වලට වක් කරමින් වධහිංසා පමුණුවා තිබෙන බවත් නඩු තීන්දුවේ ප්‍රකාශ ක⁣ළා.

ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත් එහිදී වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තා තුළින් පොලිස් අත්අඩංගුවේදී දරුවාද වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුවරුන්ගේ තීන්දුවේ සඳහන්.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පැවතී නඩු විභාගයේ දී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවද තීන්දුවෙන් පෙන්වා දුන්නා.

අපරාධ නඩු සංග්‍රහය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවටත් චෝදනා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28