පෙර පාසල් ගුරුවරිය මල්ලිත් එක්ක කළ ජාවාරම කොටුවෙයි

සංචාරක වීසා මත කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාවේ ගෘහ සේවයට යැවිමට උත්සහ කළල පෙර පාසල් ගුරුවරියක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාව වෙත සංචාරක වීසා මත යැවීමට උත්සාහ කිරීම සැකකාරියට එරෙහි චෝදනාවයි.

බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් ගුරුවරියක් වන මෙම කාන්තාව තම සහෝදරයා සමග එක්ව කොටියාගල වතුයායේ කාන්තාවන් දෙදෙනෙකු සංචාරක වීසා මත මැලේසියාවේ ගෘහ සේවයට යැවීම සඳහා කටුනායකට පිටත් කර යවා තිබුණා.

කෙසේවෙතත් ඔවුන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු ආගමන විගමන නිලධාරීන් එම කාන්තාවන් දෙදෙනා යළි හරවා එවීමටයි පියවර ගෙන තිබුණේ.

අනතුරුව පෙර පාසල් ගුරුවරියගේ සහෝදරයා විසින් අදාළ කාන්තාවන් දෙදෙනා ඉන්දියාවට රැගෙන ගොස් එතැන් සිට මැලේසියාවට යැවීම සඳහා යළිත් ගුවන්තොටුපල වෙත රැගෙන පැමිණි අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙර පාසල් ගුරුවරියගේ සහෝදරයා වන එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශණයකින් අනතුරුවයි පෙර පාසල් ගුරුවරිය අද අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරිය අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ ලබන සඳුදා (18) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසටයි.

අනතුරුව ඇය රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදා හැරිමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබුවේ බගවන්තලාව කොටියාගල වත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්