පූජිත් සහ හේමසිරි නිදොස් කොට නිදහස් කිරීම ගැන පෙත්සම් විභාගය තුන්වන දිනටත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම ඇතුළු සාපරාධී චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම අද තුන් වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී යි මෙම පෙත්සම් විභාගය පැවැත් වෙන්නේ.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාව තුළ බෝම්බ ප්‍රහාර 600කට ආසන්න සංඛ්‍යාවක් සිදු වී තිබෙන බවයි.

දළදා මාළිගා ප්‍රහාරය, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවක්ම ඒ අතර තිබෙන බවත් එම ප්‍රහාර බොහෝමයක් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එහෙත් එම ප්‍රහාරවලින් පසුව මෙරට කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකුට එරෙහිව අදාළ ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් නඩු නොපැවරූ බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් බවට එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීමට කොළඹ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවූ බව ද ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සඳහන් කළා.

නඩු විභාගයෙන් අනතුරුව සිය සේවාදායකයන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ සියලූ සාක්ෂි පුළුල් ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බවයි ඔහු පෙන්වා දුන්නේ.

බැලූ බැල්මට තම සේවාදායකයාට එරෙහිව නඩු නිමිත්තක් අනාවරණය නොවීම නිසා විත්ති වාචිකය කැඳවීමකින් තොරව ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළ බවත් එම තීන්දුව ඉතාම නිවැරදි බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සියලු තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමට තම සේවාදායකයා කටයුතු කර ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තම සේවාදායකයාට ඉන් ඔබ්බට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක හදිසි නීතිය පැනවීම වැනි බරපතල තීන්දු ගැනීමට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිය සේවාදායකයාට බලයක් නොතිබූ බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

ඉන් අනතුරුව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම ආරම්භ වුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා තමන්ට ලැබුණු තොරතුරු සහ ඒ ඔස්සේ වැඩිදියුණු කරන ලද තොරතුරු එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් එම මස 09 වනදා ලිපියකින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම් දී තිබූ බවයි.

ඒ අනුව ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිතව තිබෙන බව සඳහන් තොරතුරු ගැන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හොඳින් දැනුවත්ව සිටි බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 11 වනදා දක්වා කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37