ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මඩකලපුව මහෙස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ අද (13) දින මෙම නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.
අදාළ ඝාතන 5 සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ ලන්ඩනයේ පදිංචි ‘පොලිස් බෝයිස්’ ලෙස හඳුන්වන කාත්තන්කුඩි ප්‍රදේශයේ මොහොමඩ් බෝයිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.
මෙම නඩුව අද (13) විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීඩ් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබුවා.
ඊට පසුව, පිල්ලෙයාන් ඇතුළු තිදෙනා ලබන ඔක්තෝබර් 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය, නියෝග කළා.
පසුගිය 2008 වර්ෂයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තනුයි.
කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහකට අදාළව ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් පදනම් කර ගනිමින් නඩු කටයුතු සිදු කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2008 වසරේදී ටී 56 ගිනිඅවි භාවිත කරමින් සිදු කර ඇති ඝාතන කිහිපයක් පිළිබඳව අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති බවයි.
ඒ අනුව 2008 ජනවාරි 09 වනදා මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල ආසන්නයේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කිරීම, 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, 2008 අගෝස්තු 20 වනදා වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කිරීම යන සිදුවීම්වලට පිල්ලෙයාන් ඍජුවම සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු ඔක්තෝබර් 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළා.
එමෙන්ම මෙම සිදුවීමටම අදාළව පවතින කල්ලඩි ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධ නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වන දින කැඳවීමට නියමිතයි.
