ප්‍රදේශ රැසකට අද දිනයේ තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (07) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද (07) දින දහවල් 12:08 ට ගාල්ල, අංගුළුගහ, ඉමදුව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.