spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම කල් යයි

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්වකරුවන්ට අවසර ලබා දෙමිනුයි අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේ.

මෙම පෙත්සම අද වැඩිදුර සලකා බැලීම සඳහා එස්. තුරෙයිරාජා ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ නීතියට අනුකූලව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට තම සේවාදායකයන් ලබා දුන් ප්‍රතිඥාව මේ වනවට ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.

මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මුදා නොහැරීම නිසාත් මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුදාහැරීම රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාත් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

මෙහිදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතාගෙන් කරුණු විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ රට තුළ වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති නිසාත් ආදායම් ගලනය පහත වැටී ඇති නිසාත් රාජ්‍ය වියදම් සීමා කරන ලෙස දන්වමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මුදල් අමාත්‍යංශයේ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසාත් පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතුවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහැරීම අපහසු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණයේ මූලික කටයුතු සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන 30ක් සහ රුපියල් මිලියන 70ක් ද පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 25ක් ද රාජ්‍ය මුද්‍රණාලය වෙත රුපියල් මිලියන 40ක් ද දැනට මුදාහැර තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මෙහිදී විනිසුරුවරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් මිලියන 8000 ක පමණ මුදලක් අවශ්‍ය වන බවයි.

මෙහිදී විනිසුරු නවාස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම මුදල් තත්ත්වය යහපත් වන්නේ කවදාදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමාට මෙම අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් ඊට අදාළව තම සේවා දායකයා ගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍ය බවයි.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා….

“ස්වාමීනි පළාත් පාලන ඡන්ද විමසීම කියන්නේ අත්‍යවශ්‍ය ඡන්ද විමසීමක්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍යය ආයතන බැඳී සිටිනවා. එසේ තිබියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපති නිය මැතිවරණ කටයුතුවලට බාධා කිරීම බරපතල වරදක්. මුදල් අමාත්‍යාංශය වියදම් සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසා පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන මුදා හළ නොහැකි බව මුදල් අමාත්‍යංශ ලේකම් වරයා පවසනවා. මේක අනුමත කරන්න බැහැ. මැතිවරණ පැවැත්වීමේ බලය අමාත්‍ය මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යවරයා යටතට පත් කරන්න ඉඩ දෙන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම කරන්න ගියොත් මැතිවරණ පාලනය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයාට පැවරෙනවා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය වගේ ජාතික මැතිවරණත් මෙයාකාරයෙන් කල් දැමීමට ඔවුන්ට අවකාශ සැලසෙනවා. ඒක අයහපත් තත්වයක්”

ඊට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා….

“සෑම මැතිවරණයක්ම නිසි පරිදි නීත්‍යානුකූලව පැවතිය යුතු බව අධිකරණයක් පිළිගන්නවා. නමුත් මුදල් කියන විෂය පථය තිබෙන්නේ අධිකරණය යටතේ නෙවෙයි. ඒ නිසා එම කටයුත්තට මැදිහත් වීමට අධිකරණයට තිබෙන අවකාශය බොහොම පටුයි”

යනුවෙන් සඳහන් කළ විනිසුරු තුරෙයිරාජා මහතා මුදල් ගැටළුව සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ ආයතන වෙත පැමිණිලි කරන ලෙසත් ප්‍රකාශ කළා.

මෙහිදී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමටමට භාණ්ඩාගාරයට මුදල් නොමැතිනම් මහජනතාවගෙන් මුදල් එකතුකොට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බවයි.

ඊට විනිසුරු තුරෙයි රාජා මහතා දැඩි දෝෂාරෝපණ එල්ල කළා.

මේ අවස්ථාවේදී මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පෙන්වා දුන් විනිසුරුවරයා සඳහන් කළේ එවැනි තත්ත්වයක් යටතේ මහජනතාවගෙන් මුදල් එකතු කර මැතිවරණ පැවැත්වීම අනුමත කළ නොහැකි බවයි.

කැමති කෙනෙක් සිටිනවා නම් භාණ්ඩාගාරයට ගොස් මුදල් පරිත්‍යාග කළ හැකි බව ද විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියාසිටියා.

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය සම්බන්දයෙන් කරුණු අධ්‍යයනය කර ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන් අධිකරණය පෙත්සම නැවත මැයි මස 11 වනදා කැඳවන බව දැනුම් දුන්නා.

ඊට එකඟ නොවූ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙය ජාතික වැදගත්කමක් සහිත ඉතා වැදගත් නඩුකරයක් බැවින් කඩිනම් දිනයක කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

මාර්තු මස නව වන දා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මෙම පෙත්සම් විභාගය මෙයාකාරයෙන් කල් දැමීම නුසුදුසු බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

මෙහිදී විනිසුරු තුරේයි රාජා මහතා සඳහන් කළේ තම අධිකරණයේ දිනපොත අනුව මෙම නඩුව කැඳවීම සඳහා ලබාදිය හැකි ආසන්නතම දිනය මැයි මස 11 වනදා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සදහා පෙත්සම මැයි මස 11 වනදා කැඳවන බවත් ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

මේ අතර මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ මෝසමේ පාර්ශවකරුවන් වශයෙන් නම් කර සිටි මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති ප්‍රතිඥාව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මූදල් ප්‍රතිපාදන මුදා නොහැරීම නිසාත් රජයේ මුද්‍රණාලාධිපතිනිය ඡන්ද පත්‍රිකා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම නිසාත් ඉටුකිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවයි.

එබැවින් ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රජයේ මුද්‍රණාලයාධිපතිනිය අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?