දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













