ශ්රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් කළමනාකරණය වඩාත් තිරසාර සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ක්ෂේත්ර නිලධාරීන් සඳහා විද්යුත් යතුරුපැදි 430ක් ලබා දීමට අදාළ අවබෝධතා ගිවිසුම අද (30) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයේදී අත්සන් කෙරුණා.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් හා අමාත්යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස එක්ව සිටියා.
රුපියල් මිලියන 344.87ක සම්පූර්ණ ඇස්තමේන්තුගත පිරිවැයකින් යුත් මෙම ව්යාපෘතිය ඉන්දීය රජයේ සහයෝගය යටතේ ක්රියාත්මක වේ. ඒ සඳහා ඉන්දියානු රජය මඟින් රුපියල් මිලියන 264.59ක මූල්ය දායකත්වයක් ලබා දෙන අතර, දේශීය අරමුදල් මඟින් රුපියල් මිලියන 80.28ක් යෙදවීමට අපේක්ෂිතයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) යන ආයතනවල ක්ෂේත්ර නිලධාරීන් රාජකාරි කිරීමේදී මුහුණ දෙන ප්රවාහන දුෂ්කරතා මඟහැරවීම මෙහි ප්රධාන අරමුණයි.
යටිතල පහසුකම් අවම දුෂ්කර ප්රදේශවල ප්රවාහන බාධා හේතුවෙන් සීමා වී ඇති ක්ෂේත්ර චාරිකා යථා තත්ත්වයට පත් කරමින්, දිවයින පුරා පිහිටි ධීවර තොටුපළවල් 980ක සහ ධීවර වරායන් 23ක කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීම අමාත්යාංශයේ ඉලක්කය වී තිබෙනවා.
මෙම ව්යාපෘතිය හරහා අදාළ ක්ෂේත්ර නිලධාරීන් 430 දෙනෙකුට සෘජු ප්රතිලාභ හිමිවන අතර, ලක්ෂ 3කට අධික ධීවර ප්රජාවකට, ජලජීවී වගාකරුවන් 2,000කට සහ පාරිභෝගිකයින් ලක්ෂ 6කට ආසන්න පිරිසකට මෙහි වක්ර ප්රතිලාභ හිමිවනු ඇතැයි ගණනය කර තිබෙනවා.
මීට අමතරව, හදිසි ආපදා අවස්ථාවලදී කඩිනමින් ප්රතිචාර දැක්වීමට නිලධාරීන්ට හැකියාව ලැබෙන අතර, හරිතාගාර වායු විමෝචනය අවම කරමින් පරිසර හිතකාමී හරිත ප්රවාහන ක්රමවේදයකට යොමුවීමද මෙමඟින් තහවුරු කෙරෙනවා.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නැමැති ජාතික ප්රතිපත්ති රාමුවට සමගාමීව ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය හරහා මෙරට ආහාර සුරක්ෂිතතාව සහ සාගර සම්පත්වල තිරසාර කළමනාකරණය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
