දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම පෙත්සම් විභාගය පැවැත් වුණේ.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් 10 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කිරීමට නියමිත කොමිසමේ ස්වාධීනත්වයට බාධා සිදුවන බවයි.

අදාළ පනත් කෙටුම්පත යටතේ ස්ථාපිත කරන කොමිසම සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විත වන අතර එම සාමාජිකයින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

එම කොමිසමට පත් කරන සාමාජිකයින්ගේ සුදුසුකම් වශයෙන් නීතිය සමග විගණනය, වෝහාරික විගණනය, ඉංජිනේරු, ජාත්‍යන්තර සම්බන්ධතා, විදේශ සේවා, රාජ්‍ය කළමණාකරන යනාදී ක්ෂේත්‍රවල වසර 20කට වඩා වැඩි පළපුරුද්දක් තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ මේ තුළින් සෙසු වෘත්තීන් වලට සම්බන්ධ පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර ඇති බවයි.

මේ තුළින් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම අදාළ කොමිසම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම කථානායකවරයා හරහා විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කළ යුතු බවට අදාළ පනත් කෙටුම්පතේ සඳහන් ප්‍රතිපාදනය ද ගැටලු සහගත බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය කටයුතුවලදී කතානායකවරයාට වගකීමක් හිමි නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ තුළින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය කප්පාදු වීමක් සිදු වන බවත් පෙන්වා දුන්නා.

යෝජිත කොමිෂන් සභාව විසින් අයකරගන්නා දඩ මුදල් සහ වන්දි එම කොමිසමේ අරමුදලට බැර විය යුතු බව යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් ලෙසයි ඔහු පෙන්වා දුන්නේ.

අයකර ගනු ලබන දඩ මුදල් බැර විය යුත්තේ රජයේ ඒකාබද්ධ අරමුදලට යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ නොකොට අදාළ දඩ මුදල් වෙනත් අරමුදලකට බැර කිරීම නීතිවිරෝධී බවත් සඳහන් කළා.

තව දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවට දක්වා ඇති බවයි.

සුවිශේෂ කරුණු ඉදිරිපත් වන අවස්ථාවලදී පමණක් එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට ඇප දීමේ බලය මහෙස්ත්‍රාත්වරුන්ට ලබා දී තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් වලට පටහැනි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුට ඇප ලබාදීම අපගේ නීතියේ පවතින මූලික මූලධර්මය යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ඔහුට දෙන දඬුවමක් ලෙසටයි.

මීට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත තවත් නීතියට පටහැනි වගන්ති කිහිපයක් පිළිබඳවද ජනාධිපති නීතිඥවරයා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා.

අවසන් වශයෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා ජනතාව විසින් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවයි.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සඳුදා (15) තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48