spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තොරතුරු කොමිසමේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියෙකුගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා පත්‍ර නිකුත් කර තිබූ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව සොයා නොබලා එම තීන්දුව ස්ථිර කිරීමට තොරතුරු කොමිසම ගත් තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.

මරදානේ පිහිටි සමාජය සහ සාමයික කේන්ද්‍රය වෙනුවෙන් එහි පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනු කර ඇති මෙම අභියාචනය අද අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි කියන පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චෝදනා පත්‍ර එවනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සරත් වීරසේකර 2021 ජුනි මාසයේදී මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් තරිඳු ජයවර්ධන තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි.

එම තොරතුරු පුද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු බැවින් තොරතුරු පනතේ ප්‍රතිපාදන අනුව ලබා දිය නොහැකි බව කියමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කළ බවයි එම පෙත්සමේ සඳහන් වන්නේ.

ඊට එරෙහිව තොරතුරු කොමිසමට අභියාචනා කිරීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යංශය තම ස්ථාවරය වෙනස් කරමින් එම තොරතුරු තමන් සතුව නැති බව ප්‍රකාශ කළ බවත් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමේ සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස තමන් තොරතුරු කොමිසමෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් පෙත්සම්කරු චෝදනා කරනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තොරතුරු කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ තොරතුරු මුදාහරිණ ලෙස වැඩිදුරටත් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?