spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තාත්තාගේ මිනියෙන් කොමිස් ගහන්න ගිය අපූරු පුතා

ජා-ඇළ ප්‍රදේශයේ සිය පියාගේ අභාවයෙන් පසු දේහය සැකසීමේ කටයුතුවලින් යම් කොමිස් මුදලක් ඉල්ලූ අපූරු පුතකු ගැන අසන්නට ලැබිණි. මෙම සිද්ධිය මීට ටික කලකට පෙර සිදුව තිබුණේ අවමංගල්‍ය අධ්‍යක්ෂ ආයතනයකදීය. සුපුරුදු පරිදි සිය අවමංගල්‍ය අධ්‍යක්ෂ ආයතනය තුළ යම් කටයුත්තක නියැළී සිටි ආයතන කළමනාකරුව මුණගැසීමට පැමිණි මැදිවිය ඉක්මවමින් සිටි පුද්ගලයකු කළමනාකරු අමතා ප්‍රකාශ කර සිටියේ සිය පියා මියගොස් ඇති බවත් අවමංගල්‍ය  කටයුතු ඉතා හොඳින් සිදු කළ යුතු ආකාරය පිළිබඳවත්ය.  ඒ අනුව අවමංගල්‍ය කළමනාකරු තම ආයතනය අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරයත් ඒ සඳහා යන වියදම් පිළිබඳවත් අදාළ පුද්ගලයා දැනුවත් කරන්නට විය. ලබා දෙන සේවාව අනුව අවමංගල්‍ය කටයුත්තකදී විවිධ මිල ගණන් අය කරන ආකාරය ද අවමංගල්‍ය කළමනාකරු ඔහුට පහදා දෙන්නට විය.

ඔහුගේ පියාගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉහළ මිලක් සහිත පැකේජයක් තෝරා ගත් පුත්‍රයා අවමංගල්‍ය කළමනාකරු අමතා ප්‍රකාශ කළේ අදාළ බිල් පත ලිවීමේදී සැබෑ මුදලට වඩා රුපියල් පහළොස්දහසක මුදලක් බිල් පතෙහි සඳහන් කරන ලෙසය. සාමාන්‍යයෙන් බිල්පත අඩු කර දෙන ලෙස අන් පාරිභෝගිකයන් ඉල්ලීම් කරන බව දන්නා ආයතන කළමනාකරු බිල්පත වැඩිකර ලියා දෙන ලෙස කරන ඉල්ලීම ප්‍රහේලිකාවක් විය. එබැවින් කළමනාකරු මියගිය අයගේ වැඩිමහල් පුද්ගලයාගෙන් නැවත විමසා සිටියේ බිල් පත වැඩියෙන් ලියන්නේ ඇයිද යන්නයි. එවිට පුත්‍රයා දුන් පිළිතුරින් කළමනාකරු අන්ද මන්ද විය. 

මෙම පුද්ගලයා පවසා සිටියේ මියගොස් ඇත්තේ තම පියා වුවද, පියාගේ අවමංගල්‍ය වියදම් කරන්නේ සිය බාල සොහොයුරා බවයි. ආදාළ බිල්පත ගෙවීමට සිය බාල සොහොයුරා පැමිණි පසු වැඩිපුර ලියූ මුදල වූ රුපියල් පහළොස්දහස කොමිස් එකක් ලෙස තමාට ලබාදෙන ලෙසය. එම ප්‍රකාශයෙන් තරමක් කේන්ති ගිය අවමංගල්‍ය කළමනාකරු ඔහුට ප්‍රකාශ කළේ තම ආයතනය එලෙස මළ සිරුරකින් කොමිස් ලබා දීමට තරම් පහත් තත්ත්වයකට වැටී නොමැති බවත් එලෙස කොමිස් අවශ්‍ය නම් වෙනත් මල් ශාලාවකින් වැඩය කර ගන්නා ලෙසත්ය. මෙයින් කලබලයට පත් පුත්‍රයා ප්‍රකාශ කළේ තමන්ට පියාගේ මළසිරුරෙන් කොමිස් අවශ්‍ය  නැති බවයි. තමන් කළ ඉල්ලීම තම බාල සොහොයුරාට දැන ගැනීමට කිසි ලෙසකින්  ඉඩ නොතබන ලෙස බැගෑපත් වෙමින් ඔහු අවමංගල්‍ය ශාලාවෙන් පිටත්ව යන්නට විය.

ජා-ඇළ – ප්‍රසංග පාවුළුහේවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?