සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙන ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මඟින් එම පක්ෂය පෙන්වා දී ඇත්තේ, බන්ධනාගාර ගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම ප්රශ්නය යට ගැසීමට සහ තව තවත් ඇදගෙන යාමට ගත් වංක ප්රයත්නයක් බවයි.
එමෙන්ම ආණ්ඩුව කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රිධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම බව ද එක්සත් ජාතිඅක් පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම පක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම පහතින්,
”බන්ධනාගාර ගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම සම්පූර්ණ ඇස් බැන්ඳුමක් බවත්, එවැනි කමිටුවක කිසිඳු අවශ්යතාවයක් නැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මීට පෙර පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය.
මේ කරුණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධි විධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන්ව පවතී.
ඒ පිළිබඳව බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි මෙසේ දක්වා තිබේ.
“යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු කරනු ලැබු සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් (සිරකරු ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් නොකළ යුතුය.”
“බන්ධනාගාර වීමට ප්රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැළපෙන වස්ත්රයක්) ඇඳීමට ඔහුට අවසර දිය යුතුය.”
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මඟ පෙන්වීමක් කර තිබියදී ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කිරීම හිතාමතාම ප්රශ්නය යට ගැසීමට සහ තව තවත් ඇදගෙන යාමට ගත් වංක ප්රයත්නයකි. රජයේ මේ අවස්ථාවදී පියවර ද එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළා දකී.
එසේම රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රිධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීමය.”










