spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෙරොම් ප්‍රනාන්දුගේ ප්‍රකාශ ගැන CID විමර්ශණයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගම් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබෙන බවයි.

එම ප්‍රකාශය තුළින් අදාළ දේවගැතිවරයා බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට බරපතල අපහාසයක් සිදු කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයින් දැඩි විරෝධය පළ කර තිබෙන බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම අදාළ ප්‍රකාශය පිළිබඳව ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා ද සිය අවධානය යොමු කර තිබුණද මේ දක්වා ඵලදායි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙම දේවගැතිවරයා පිටුපස විශාල දේශපාලන හස්තයන් පවතින බැවින් එම පරීක්ෂණ යටපත් වීමේ අවධානමක් පවතින බවත් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

එම නිසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම කරුණට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බවයි.

ඒ අනුව අදාළ දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඔහු දන්වා සිටියා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ විමර්ශන සිදුකරන බවයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ.

මෙම දේවගැතිවරයා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ලබා ගෙන තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ අධිකරණය මේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දිය යුතු බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යන බව ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ කරුණු සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නැවත ජුලි මස 28 වනදා කැදවන ලෙස නියෝග කළා.

එදින අදාල පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, නිෂාන් කුරේ පියතුමා, අල්හාජ් හසන් මොහොමඩ්, රාමචන්ද්‍ර ෂර්මා කුරුක්කල් ඇතුළු 6 දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් ආගම්වලට දැඩි නිග්‍රහයක් සිදු කර ඇති බවයි.

එම ප්‍රකාශය හරහා මෙරට ආගමික සහජීවනය හා ජාතික සංහිඳියාවට දැඩි අගතියක් සිදු වන බවද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මේ හරහා ආගම් අතර ගැටුමක් නිර්මාණය වීමේ අවදානමක් මතුවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ අදාළ ප්‍රකාශය තුළින් එම දේවගැතිවරයා අන්‍ය ආගමික විශ්වාසයන්ට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබෙනවා.

මේ හරහා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අදාල දේවගැතිවරයා වරදක් සිදුකර ඇතැයි චෝදනා කළ පෙත්සම්කරුවන් ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිසි විමර්ශනයක් සිදු වී නොමැති බවයි සිය පෙත්සමෙන් අවධාරණය කර ඇත්තේ.

මේ තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යටතේ විමර්ශනයක් සිදුකර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ලෙස නියෝග කරන ලෙස අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
9
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?