චීනයේ ආර්ථිකය ගැන IMF වෙතින් රතු එළියක්

2026 වසරේ චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4.6 සිට සියයට 4.5 දක්වා පහත දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබෙනවා.

එරට අපනයන ශක්තිමත්ව පැවතිය ද, දේශීය ඉල්ලුමේ දුර්වලතාව සහ දේපළ වෙළෙඳපොළේ දිග්ගැස්සුණු අර්බුදය සම්පූර්ණයෙන් පියවා ගැනීමට එය ප්‍රමාණවත් නොවන බවයි එම අරමුදල පෙන්වා දෙන්නේ.

ඊයේ (13) නිකුත් කළ නවතම ලෝක ආර්ථික දැක්ම වාර්තාවේ මෙම සංශෝධනය ඇතුළත් කර තිබෙනවා. එම වර්ධන පුරෝකථනය චීන රජය 2026 වසර සඳහා නියම කර ඇති සියයට 4.5ත් 5ත් අතර ආර්ථික වර්ධන ඉලක්කයේ පහළ සීමාවට සමාන වනවා.

දේශීය පාරිභෝගික වියදම් මන්දගාමී වීම සහ දේපළ ක්ෂේත්‍රයේ පවතින ගැටලු හමුවේ ආයෝජන දුර්වල වීම, අපනයනවල ශක්තිමත් කාර්යසාධනයෙන් අර්ධ වශයෙන් පමණක් සමනය වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

එමෙන්ම, ගෝලීය තෙල් මිල ඉහළ යාම, දිගින් දිගටම පවතින අවිනිශ්චිතතාව සහ ව්‍යුහාත්මක බාධා චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි පීඩනයක් ඇති කරනු ඇතැයි ද එම වාර්තාව අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, චීන රජයේ ප්‍රතිපත්තිමය සහාය හේතුවෙන් ආර්ථික වර්ධනය තවදුරටත් දැඩි ලෙස පහත වැටීම වළක්වා ගත හැකි බවට ද අපේක්ෂා පළ කර තිබෙනවා.

2026 වසරේ අවසන් කාර්තුවේ සිට 2027 වසරේ පළමු කාර්තුව දක්වා ගෝලීය තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරනවා.

ඒ අනුව, 2026 වසරේ සාමාන්‍ය තෙල් මිල සියයට 17කින් ද, 2027 වසරේදී සියයට 40කින් ද ඉහළ යනු ඇතැයි එම අරමුදල අපේක්ෂා කරනවා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධිත පුරෝකථනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ චීන ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත්ව පවතින බවයි. එරට ආර්ථිකයේ ඉදිරි අපේක්ෂා පිළිබඳව ද චීන රජය විශ්වාසයෙන් පසුවන බව ඔහු පවසා තිබෙනවා.