රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර එවැනි ගුලි 90ක් පමණ ගිලදැමූ විදෙස් ජාතිකයෙකු ඊයේ (13) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 43ක උගන්ඩා ජාතිකයෙක්.
මොහු මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය උගන්ඩා රාජ්‍යයේ එන්ටබේ නුවරින් ගිලදමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා.
ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ දහවල් වනතුරු ගුවන් තොටුපොළේ පළමු මහළේ රැදී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ගුවන් තොටුපොළ තුළ දී මොහු ගිලදමා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 13ක් පිටතට දමා තිබුණා..
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා සහ මෙම උගන්ඩා ජාතිකයා ගිලදමා ඇති ඉතිරි මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.













