කාවන්තිස්ස වෙනුවෙන් යන සෑම වියදමක්ම දැරීමට ඩඩ්ලි සිරිසේන ඉදිරිපත් වෙයි
මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රසිද්ධියට පත් කාවන්තිස්ස ඇතා සියඹලන්ගමුව ප්රදේශයේ වෙල් යායක ඇදවැටී සිටියදී අද (16) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
මෙම සත්වයාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පශු වෛද්ය කණ්ඩායම් සහ වනජීවී නිලධාරීන් එක්ව පසුගිය මාසයේ ප්රතිකාර ආරම්භ කර තිබුණා.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණ ද පසුගිය දින කිහිපයේ නිසි පරිදි ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බවයි පශු වෛද්ය කණ්ඩායම් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඒ වනවිටත් පශු වෛද්ය කණ්ඩායම් සහ වනජීවී නිලධාරීන් මෙම සත්වයා ඇදවැටී සිටි ස්ථානයට පැමිණ ප්රතිකාර කටයුතු අරඹා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර කාවන්තිස්ස ඇතා සුව කිරීමේ අවශ්ය කරන සෑම මූල්ය ප්රතිපාදනයක්ම ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බව ව්යවසායක ඩඩ්ලි සිරිසේන පවසනවා.
සිය ෆේස්බුක් සමාජ මධ්ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, තායිලන්තයේ මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද වෛද්ය කණ්ඩායම්, ඖෂධ සහ ප්රතිකාර ඇති බවයි.
“කාවන්තිස්ස මහ ඇතාව සුවපත් කරන්න අවශ්ය කරන සෑම සතයකම වගකීම මම බාර ගන්නවා. ඒකේ ආයෙ කතා දෙකක් නෑ. හැබයි ඒ සියල්ලක්ම සම්බන්ධීකරණය කිරීමේ වගකීම තියෙන්නෙ රජය, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතන වලට. මම දන්න තරමට තායිලන්තයේ මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද වෛද්ය කණ්ඩායම්, ඖෂධ සහ ප්රතිකාර තිබෙනවා. ඉතින් මම වගේ අය ඒ සියලුම විය හියදම් දරන්න සූදානම් වෙලා තියෙද්දිත් තවත් ප්රමාද වෙන්න එපා. ව්යවසායකයෙක් විදියට මගේ යුතුකම මම රට වෙනුවෙන් කරන්නම්. ඒ නිසා මේ වෙලාවෙ එකා වගේ එකතු වෙලා කාවන්තිස්ස මහ ඇතාව අපි රැකගමු.”










