කතානායකට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු යළි ඉවත් කරන්න බෑ – අජිත් පී. පෙරේරා

කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු ඉවත් කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

විපක්ෂය විසින් ගෙන පාර්ලිමේන්තුවට ගෙන ආ කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 03 වනදා විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

අද (30) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ, කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා 50ම බරපතළ බවත් එය පසුගිය 12 වනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය අදාළ විශ්වාසභංගයේ ඇති කරුණු පිළිබඳව එහි ඇති කාර්යපටිපාටික කාරණා පිළිබඳව සෑහීමකට පත්වී න්‍යාය පුස්තකයට ඇතුළත් කර ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළ මන්ත්‍රීවරයා න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු යෝජනා කිසිවක් ඉන් ඉවත් කළ නොහැකි බවයි පැවසුවේ.

එලෙස ඉවත් කිරීමට අවශ්‍ය වේ නම් එය සියලු මන්ත්‍රීවරු විසින් ඉල්ලා අස්කරගත යුතු බවත්, එසේ නොමැති නම් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් එය ඉවත් කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම විශ්වාසභංගයට විධිමත් විවාදයක් ලබාදීමට නොහැකි නම් අදාළ චෝදනා 50 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පියවර ගැනීමට කටයුතු කරන බවයි.