spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එප්පාවල දරුවා පැහැරගෙන යාමේ සිද්ධියට තවත් අයෙක් රිමාන්ඩ්

එප්පාවල ප්‍රදේශයේ දරුවා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුට නවාතැන් දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුගේ පියා බවයි අප වාර්තාකරු කියාසිටියේ.

74 හැවිරිදි එම පුද්ගලයා ද ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමකට පසුගියදා හැකිවුණා.

මෙලෙස පැහැර ගැනීමට ලක් වූයේ නව හැවිරිදි පිරිමි දරුවෙක්. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබනවා.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මීට මාස කීපයක සිට සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලිසියට පසුගිය 19 වැනි දින රාත්‍රියේ පැමිණිලි කර තිබුණේ.

තම දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ දරුවා සමීපව ඇසුරු කළ ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන 45 හැවිරිදි අයෙක් බවත්, ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට සැකකරන බවටත් දරුවාගේ මව සහ හමුදා සෙබලකු වන දරුවාගේ පියා ද මේ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන්.

ඒ අනුව පොලිසීය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවටයි පොලිසිය හෙළිකර ගත්තේ.

අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ දරුවා පැහැරගත් දිනම (19) රාත්‍රියේ නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැදී සිට පසුදින (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත්ව උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබුණා.

සැකකරු දරුවා රැගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් දරුවා තබා ගෙන සිටින ස්ථානයක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත නොහැකි වූ අතර, පසුගිය 23 වනදා පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලබා ගෙන දරුවා පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් ඉන්නා බවයි.

තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවා රැගෙන ගිය බවද, හැකි නම් පොලිසියේ සිදු කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සැකකරු දරුවාගේ මවට දුරකථනයෙන් පවසා තිබෙනවා.

දරුවාද එහිදී මව සමඟ දුරකථනයෙන් කථා කර පවසා ඇත්තේ තමන් කැමැත්තෙන් විදුලි කාර්මික ශිල්පියා සමඟ පැමිණි බවත්, තමන් හොඳින් ඉන්නා බවයි.

කෙසේ වෙතත් ඔවුන් තලාව ප්‍රදේශයේ රැදී සිටින බව පැවසූවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරික්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිතා වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැදී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක රැදී සිටියදී එම නිවස වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රීරෝද රථයද එම නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම දරුවා සඟවා තබා ගැනීමට උදව් උපකාර කළ නිවසේ හිමිකරු ද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

දරුවා රඳවා ගෙන සිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා, මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි බවත්, ඒ හිතවත්කම මත මීට පෙරද නිවසට එක් වරක් පැමිණි බව සඳහන්.

පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැදී සිට, පසු දින (21) ඔවුන් තමන්ගේ නිවසට පැමිණ, මෙම දරුවා තමන්ගේම දරුවා බව පවසා නිවසේ තබා ගෙන සිටි බව නිවසේ හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දිනවල සිදු කළ බවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.

ඒ අනුව එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් පැහැර ගැනීමට ලක් වූ දරුවා, පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා හා ඔවුන්ට නවතැන් දුන් තිදරු පියෙකු වන නගර සභා රියදුරුද ‍පොලිස් අත්අඩංගුවට ගෙන එප්පාවල පොලිස් ස්ථානය වෙත පසුගිය ඊයේ උදෑසන රැගෙන ආවා.

අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර, එප්පාවල පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශයේදී දරුවාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු කර තිබුණා.

ඒ අනුව 19 වැනි දින රාත්‍රියේ නිවසින් රහසින් පිටත්වී, මාමාගේ (විදුලි කාර්මික ශිල්පියාගේ) කඩය අසලට පැමිණ ඔහුගේ ත්‍රී රෝද රථයට නැඟ සැඟවී සිටි බවයි දරුවා ප්‍රකාශ කර ඇත්තේ.

තමාව මහණ කරන බවට දෙමාපියන් පැවසූ නිසා, මහණ වීමට අකමැති බැවින්, ගෙදර හිටියොත් මාව මහණ කරයි, ඒ නිසා මාව ඈතකට එක්ක යන ලෙස මාමාට (විදුලි කාර්මික ශිල්පියා) ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

“ඊට පස්සේ නාවුල හා මාතලේ ප්‍රදේශයේ පිහිටි මාමාගේ නෑදෑ ගෙවල් වලට ගිහින් පස්සේ රිකිල්ලගස්කඩට ගියා, රිකිල්ලගස්කඩින් මගේ කොණ්ඩෙත් කැපුවා, මාව හොයනවා කියලා මම ටී.වී එකෙනුත් දැක්කා.ඒත් මට ගෙදර එන්න හිතුනේ නෑ” යැයිද දරුවා පවසා තිබෙනවා.

දරුවා පැහැරගත් විදුලි කාර්මිකයා ද පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ, තමා දරුවාට කිසිදු කරදරයක් කර නොමැති බවත්, තමාගේම දරුවකු මෙන් දරුවා බලා ගත් බවයි.

දරුවා තමන්ට ඇවිටිලි කරමින් “ගෙදර ඉන්න බෑ, ඔයා මට උදව් නොකලොත් මං සියදිවි හානි කර ගන්නවා” ඒ නිසා දරුවාගේ ඉල්ලීමට මං දරුවාට ආදරේට, එයාව අරගෙන ගියේ” යනුවෙන් ඔහු හෙළිකර තිබෙනවා.

ඔවුන්ට නවාතැන් දුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ පියා තලාව ප්‍රදේශයේ ආපන ශාලාවක කොත්තු බාස්වරයකු ලෙස කටයුතු කළ බවත්, එහිදී හදුනාගත් ප්‍රියන්ත නම් පුද්ගලයා හා දරුවාද සමඟ තම පියා පසුගිය 21 නිවසට පැමිණි බවයි.

එම දරුවා තමන්ගේ දරුවා බවද, බිරිඳ විදේශගතව සිටින බවද පවසා නිවසේ නතර වීමට ඉල්ලා සිටි බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

තම නිවස ඉදි කරමින් පවතින අතර, එහි විදුලි පද්ධතිය සකස් කිරීමද ප්‍රියන්ත නැමැත්තා පසුගිය දිනවල සිදු කළ බවද නවාතැන් දුන් නිවසේ හිමිකරු පවසා ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙම දරුවා පැහැර ගෙන පැමිණි දරුවකු බව තමන් නොදන්නා බවද, රූපවාහිනියෙන් හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් නොවුන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

දරුවා හා දරුවා පැහැර ගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාද අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ අතර, ඒ වන විටත් දරුවා තරමක තරමක අසනීප තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් වාට්ටුවට ඇතුළත් කර ඇති අතර, ඔහු එහි නේවාසිකව ප්‍රථිකාර ලබනවා.

මෙතෙක් සිදු කළ පරීක්ෂණ අනුව දරුවාට ලිංගික අතවරයක් හෝ අපහරණයක් සිදු වී නොමැති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව, සැකකාර විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට නවාතැන් දුන් නිවසේ හිමිකරු තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

දරුවා රැඳී සිටි නිවසේ හිමිකරුගේ පියාද එප්පාවල පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඔහුද අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත්එවරයා නියෝග කර තිබෙනවා.

දරුවා රෝහලෙන් පිටව පැමිණි පසු , දරුවාගේ වෛද්‍ය පරීක්ෂණයෙන් ලැබෙන වාර්තා ද සමඟ දරුවාද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි එප්පාවල පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?